ආදරයේ මායාව සහ සැබෑව අවසාන කොටස

image_title_here
ආදරයේ මායාව සහ සැබෑව අවසාන කොටස

ඔබට ඒක නොගෙන ඉන්න පුළුවන් කොයි තරම් වෙලාවක් ද....? 

ආදරයත් අන්න ඒ වගේ දෙයක්..... ගොඩදෙනෙක් ඒක පිළිගන්න එකක් නැහැ..... මොකද.... මේ කතාව මීට කලින් තේරෙන ප්‍රමාණයට ඇතුලේ ගැඹුරුම කොටසට ඇහිලා නැති නිසා..... කිසිම තැනකින් මේ ඇත්තම ඇත්ත ටික අපිට කියලා දීලා නැහැ. අපේ නහර.... ඇට මිදුළු.... අස්ථි පසාරු කරගෙන යන සියුම්ම තැන් වලට දැනෙන තරමට අපිට මේ ගැන කියලා දීලා නැහැ.... ඇහිලා නැහැ... ඒ නිසා මේ ලිපිය බොහෝ දෙනෙකුට තේරුම් නො යන්නට ඉඩක් තිබෙනවා....විකාරයක් වගේ පේන්නත් පුලුවන්.... නමුත් මට කියන්න ඕන දේ කියල දැම්මා ම අඩුම තරමේ මම වත් නිදහස් වේවි. 

අපි කලින් ලිපි තුනකින් මේ ආදරේ විවිධ පැතිකඩ ගැන සාකච්ඡා කළා.... ඒවා නැවත නැවත බලන්න. ඒවායේ කියන හරය ඔබේ මයිල්  වලට....කෙල බිංදුවලට  යනකම් කියවා ගන්න..... එය අපතේ යන්නේ නෑ.... කවදාවත් තේරුම් ගන්න බෑ හිතෙන් ම විතරක්..... ඒ මත පුහුණුවකට එන්නම ඕන..... එහෙම කරන කෙනෙකුට මම මේ විස්තර කරන මානය තමන්ටම දැනීමෙන් ස්පර්ශ කරන්න පුළුවන් වේවි..... එය ජීවිත බවට පත්කරගන්න පුළුවන්..... එය ආශිර්වාදාත්මක ජීවිතයක් වෙනවා නිසැකයෙන්ම. 

නමුත් ඔබේ දැනුමෙන් පිරුණු හිතට..... තර්ක වලින් ගහන හිතට..... පණ්ඩිත  කමින් සහ මානයෙන් පිරුණු හිතට..... කවදාවත්ම මේ කියන මානය ස්පර්ශ කරන්නට බැරි බව හොඳින් මතක තියාගන්න. 

ඔයාගෙ  හිත කියන්නෙම බාහිර ලෝකය විසින් ගොඩනැගූ පද්ධතියක්.. එයාට අභ්‍යන්තර ලෝකයේ මානයන් ස්පර්ෂ කිරීම සීමාන්තික වෙනවා. මොකද හිත කියන්නේ හරියට හැන්දක් වගේ..... හැන්දට කවදාවත් හොද්දේ  රස දැනෙන්නේ නැති නිසා........ නමුත් හොද්ද රසට හදා ගන්න හැන්ඳ උදව්වක් උනාට කවදාවත් හැන්ද දන්නේ නැහැ හොද්ඳේ නියම රස... 

අන්න ඒ වගේ අපේ හිතට යටින් නැතිනම් හිතට එපිටින්  තමයි මම මේ කියන මානය පවතින්නේ.හැබැයි හිතේ දායකත්වයක් නැතිව අර එපිටින් තියෙන මානය මතුපිටට එන්නට ඉඩක් නිර්මාණය වෙන්නේ නෑ .....හිතේ ඝෝෂාව.... හිතේ බලාධිකාරය.... නිහඬ වූ විටයි  යටින් නැතිනම් එපිටින් තියෙන ඒවා සැබෑවට ම  මතු වන්නේ....... ඒ නිසාම සැබෑවටම ආදරේ කරන කෙනෙක් හිත නිහඬ කරගන්නා කලාව සහ හිතත් එක්ක ගනුදෙනු කරගන්නා කලාව අනිවාර්යයෙන්ම දැනගත යුතුයි.... නොදැනත් පුළුවන් ඇති.... හැබැයි තාවකාලිකයි..... දිගුකාලීනව පැවැත්මක් නම් කොහෙත්ම නැහැ. 

හුස්ම නැතිව වැඩිවෙලාවක් අපට ඉන්නට බැහැ වගේම ආදරය නැතිව අපට සැබෑ මනුෂ්‍යත්වය ගුණයන් වල ජීවත් වෙන්නට බැහැ...... බලන්න ඔබ දිහා..... බලන් ඔබ අවට ඉන්න අය දිහා..... ඒ හැමෝම මොකක්දෝ අඩුවකින් පෙළෙන බව පෙනේවි..... ඔවුන්ගේ ඇස් දිහා බැලුවාම. ඔවුන්ගේ අඩුව ඉතාම පැහැදිලිව පේනවා සිහියෙන් බලන්නෙකුට.... (දැන් මේක අහලා අනිත් අයගේ ඇස්වලින්  උන්ගේ ආදරය අඩු බව හොයන්නට දගලන්න එපා.ඒක අපේ හිතේ හැටියක්..... අඩුවක් දිහා බලන විදිහ දැනගන්න ලැබුන ගමන් අපේ හිත කරන්නේ අනුන්ගේ ඒවා ට හොට දදා .....ඒවා බලමින් උන්ට උපදෙස් දෙන්නට යෑම...... තමන් හරියට ඒකේ ඉන්නවා වගේ..... බොහෝවිට එහෙම කරන  අර පුද්ගලයාට තියන තරමකවත් තැනක නැහැ.... අපේ හිතේ තවත් උප්පරවැට්ටියක් තමයි තමන් ලග නොතිබුණත් තියෙනවා වගේ මවාගෙන රඟපෑම.... ඒ නිසා තමන්ගේ කොටස සොයා ගැනීම මගහැරෙනවා. ඒක වෙන්න දෙන්න එපා..... ඒ ගැන සිහියෙන් ඉන්න.... හිතේ උප්පරවැට්ටි ගැන නිරන්තරයෙන්ම... 

බලන්න පුංචි දරුවන්ගේ ඇස් දිහා .....ඇයි ඔවුන්ගේ ඇස් දිලිසෙන්නේ...... ඇයි ඔවුන්ගේ ඇස්  එතරම් දීප්තිමත්..... මොකද ඔවුන් තුළ තවමත් ප්‍රබල හිතක් නිර්මාණය වී නොමැති නිසා..... නැතිනම් ප්‍රබල සිතුවිලි ධාරාවක් නිර්මාණය නොවී ඇති නිසා.......ඒ අය තවමත් හිතීමට ඇබ්බැහිවෙලා නැති නිසා....... ඒ කියන්නේ ඒ අයගේ හිත් හරිම පුංචියි..... හිතට යටින් තියෙන..... ආදරණීය භාවයන්.... අහිංසකත්වය සහ අව්‍යාජත්වයේ විකිරණයන් යටපත් කරගෙන ඉන්න තරම් ප්‍රබල හිතක් තවමත් හැදී නැහැ.....( එයාගේ වටේ ඉන්න අය ඒක ඉක්මනට හදලා දේවි.....එතනින් එහාට ඒක ක්‍රමයෙන් අතුරුදන් වෙලා බොරු ආදරයන්ට පැටලේවි.)...... ඒ නිසාම ඔවුන්ගේ මුළු සිරුරම හරිම මෘදුයි .....ආදරණීයයි ....සුවඳයි.... පුංචිම පුංචි එකෙක්ගේ ඇඟිලි... අත් ....හෝ මොන යම් කොටසක් දිහා බැලුවාම අපට දැනෙනවා පුදුමාකාර ආදරණිය භාවයක්...... මොකද ඔවුන්ගේ ඇඟේ හැම සෛලයකම විහිදෙන්නේ ආදරනීයභාවයේ විකිරණයන් නිසා.... 

දැන් බලන්න..... ඔබ ඔබේ ශරීරයෙන් විහිදෙන්නේ මොනවගේ විකිරණයන් ද කියා...... දුක... කලකිරීම ....පීඩනය.... අවුල් සහගත බව.... නොවිසිලිමත් බව.... අසහනය සහ මොකක්ද ඇල්මැරුණු ස්වභාවයක් නේද ..........? බහුතරයකට....

බහුතරයකට ඇයි..... අශුභවාදී විකිරණයන් විහිදෙන්නේ.... එකම දෙයයි තියෙන්නේ..... වෙන මොකවත් නිසා නෙවෙයි.....  

.....ආදරය නැති කම...... තමා තුළම.... 

දැනටමත් පවතින ආදරණීය භාවයේ රැළි මතු නොවී ම...... යටපත් වීම. ඒකට එකම හේතුව හිතට වහල් වීම සිතුවිලි තමන් කියා භාර ගෙන සිටීම. ඒ නිසාම හිත කියන පෙන්වා දෙන මාර්ගයේ ඔබ දුවනවා.....හිත කියනවා .....උඹට හරියන්නේ විභාග ටික පාස් වුණාම..... අර තනතුර ලබා ගත්තහම..... මෙයාව අයිතිකර ගත්තහම... මෙච්චර සල්ලි ....දේපල.... බලය.... තියෙන්න ඕන.... අරවා මේවා..... ගොඩක් දේවල් පෙන්වා දෙනවා. එය බාහිර සමාජය අනුමත කරනවා. උගත්..... බුද්ධිමත්.... වැදගත් සහ ප්‍රබුද්ධ අය කියලා හිතාගෙන ඉන්න අය පවා අපට උගන්වන්නේ ඒවා මත අපේ හැමදේම තීරණය වන බවට. අපට වරදින්න විදිහක් නැහැ....  තර්කානුකූලවත් ඇත්ත....... ඉතින් අපි රේස් එකේ දුවනවා.... අනිත් අයවත් පෙරලගෙන..... වට්ටගෙන.... කකුල් මාට්ටු දාගෙන..... කොහොමහරි මට අතනට යන්න පුළුවන්.... උපරිම ගේම දෙනවා...... නමුත් එතනට ආවම තේරෙනවා තාම ඒක හම්බුනේ නැහැ..... ආපහු දුවනවා..... සමහරු ධර්මය පස්සේ දුවනවා ......වැරදුනහම.  බණ .... පොත් ....භාවනා සහ  නොයෙකුත් උත්සාහයන් වල යෙදෙනවා. ඒත් ඒක සපිරෙන්නේ නැහැ. මොකද ඒ සේරමත් බොරුවෙන් වැහී ඇති නිසා...... කවදාවත් එන්නේ නැහැ..... ඉතා ම කලාතුරකින් එක්කෙනෙකුට.... දෙන්නෙකුට  වෙන්න පුළුවන්..... 

හොඳින් බලන්න.... 

මේ ගැඹුරු ධර්මය කතා කරන අයගෙන් කීයෙන් කී දෙනාද සැබෑ අව්යාජ..... ආදරයෙන් පිරී ඉන්නේ කියා. මම ඔබට ඔවුන්ව මනින්න  නැතිනම් නියම එකා හොයා ගන්නට පුළුවන් පොඩි මිම්මක් දෙන්නම්.ඔය ගැඹුරු ...පට්ට ප්‍රබුද්ධ මාර්ගඵලලාභී සහ අමුතු  අනතුර තියෙන අය සැබෑ එකේ  ඉන්නවාද කියා බැලිය හැකි හොඳම ක්‍රමය ඔවුන්ගේ ඇස්වලින් සහ සිරුරෙන් විහිදෙන ආදරයේ විකිරණයන් කොයිතරම් ප්‍රභලව තියෙනවා දැයි බලන්න...... එය ඔබට දැනෙනවද බලන්න.... එහෙම බලාගෙන යද්දි දාහකට එක්කෙනෙකුගෙන් දෙන්නෙකුගෙන් පේන්න පුළුවන්.... ධර්ම පොරවල් ඔය ඔක්කොම කරන්නෙ දැනුමෙන් හිතේ එහාට මෙහාට පැද්දෙමින් දාන කයිවාරු විතරයි.. .....අඩුම තරමේ ඔවුන්වත් හිතේ මානයෙන් එහාට ගිහින් නැහැ..... පඬි වදන් දොඩවන්න ඕන කෙනෙකුට ලේසි වැඩක්...හැබැයි කරන එක තමයි....අවුල... 

කතා පොඩ්ඩක් පිටගියා..... 

ඔබට නියම සහ සත්‍ය ආදරේ අමුතු වෙන් එළියෙන් ගන්නට දෙයක් නැහැ..... ඒක තවම තියෙන්නේ ම ඔබේ ඇතුලේ...... නමුත් හිත දන්නේ නැහැ සහ  හිත කැමති නෑ ඇතුලේ එකත් එක්ක වැඩ කරන්නට....... හිතට ඕන එළියෙන් ඒක ගන්නට.... හිත ආසා කරන පෙනුම තියෙන..... ගතිගුණ තියෙන.... හිත කැමති features තියෙන...... වස්තුවක් අයිති කරගෙන..... ඒක තමන්ටම අවශ්‍ය විදිහට පාලනය කර කර ඉන්න හිතට ඕන...... හිත  තනිකරම දේශපාලනිකයි..... හිතට ඕන බලය.... එයා මට ඕන විදිහට..... මම කැමති විදිහට ඉන්න ඕන...... මේක තමයි හිතේ දේශපාලනික ආදරේ..... 

බලන්න  ඔය ගති කොතරම් ප්‍රමාණයකින් ඔබට තියෙනවද කියා. ඒ තරමට විඳවාවි.... තැලේවි..... පොඩි වේවි.....  ඒ අතර දෛවයට බැන බැන ඉන්නවා..... මේක මගේ කරුමයක් කියා .....ඇත්තටම ඒක කරුමයක් නෙවෙයි. 

කම්බියක් දිගේ විදුලිය ගමන් කරන විට ඔබ එම කම්බිය අතින් ඇල්ලුවොත් ඔබට කරන්ට් එක වදිනවා...... ඒක කරුමයක්ද නැහැ.... ඔබ එක් නියමයක් කඩ කරලා... හිතේ නියමයනුත් ඔය වගේ..... හරියට දැන ගත්තොත් සේරම ගොඩ....... දන්නේ නෑ කියන්නෙම ජීවිතේම වර්චස්..... 

අවසාන වශයෙන් මේ සේරගෙන්ම මට කියා ගන්න ඕන....  සිතුවිලිවලින් ආදරේ කරන එක හැකිතරම් අඩු කරගන්න....... අඩු කරගෙන යන්නට උත්සහ කරන්න..... රූප මවාගෙන .....සිහින මවාගෙන.... කතා ගොතා ගෙන..... මොකද..... ඒක තමයි හිතේ දේශපාලනික ආදරේ..... නමුත් අප මේ කතා කරන්නේ ඒ ආදරේට එහා ගිය සැබෑ සත්‍යය නොවෙනස්වන ආදරයක් ගැන. මේ දැනුත් ඔබ තුළ එය  තිබෙනවා....නමුත් යටපත්වෙලා..... ඒකට වයසක් බලපාන්නේ නැහැ..... එය කාල මානයෙන් ඔබ්බෙහි පවතින දෙයක්.......... 

එහෙම කියන්නේ මම නෙමෙයි.....   බුදුන් .... ජේසුස් .... ශිව.... මොහොමඩ්.... වැනි මේ විශ්වය පහළ වූ ඉහළම ආදරවන්තයන් පෙන්වා දුන්නා සදාකාලික..... දුකෙන් තොරව .....නොවෙනස් වෙන ආදරේකට යන්නේ කොහොමද කියලා...... ඒක ටිකක් සංකීර්ණයි වගේ පෙනුනට හරිම සරලයි.......පොතේ ලියද්දී තමයි අවුල් කර ගත්තේ....... ඒවා උගන්නන අයත් එය ස්පර්ශ කර නැති නිසා පොතට අනුව පට්ට සංකීර්ණ කරලා තමයි උගන්වන්නෙ........ඒක ඔවුන්  කරන දෙයක් නොවේ..... ඔවුනුත් ඇත්තටම ඒක  දන්නේ නෑ....දැනිලා නෑ...නමුත් උගන්වනවා....පෙරළි පෙරලී ....... 

එතනින් ගත්ත සරල ගැඹුරු සහ බලවත් ක්‍රමයක් මම ඔබට දෙන්නයි මේ ලිපිවලින් උත්සාහ කරන්නේ....මම භාවිතා කළ ක්‍රමය සහ මගේ මේ ස්වභාවය නිර්මාණය වෙන්නට බලපාපු ක්‍රමය.......... 

කරන්නට තියෙන්නේ එකම දෙයයි.....

ඔබේ තොරතෝංචියක් නැතිව හිතන ....දෙඩවිල්ල .....දුවන කල්පනාවන් ට..... මවන කතා වලට .....වැඩි අවධානයක් දීමෙන් වලකින්න. ඔබේ අවධානය හැකි හැම විටම  සිතීමෙන් අයින්කරගෙන  හදවතේ නැතිනම් පපුව ඇතුලේ දැනෙන දේකට  ගේන්න..... ඒ කියන්නේ පපුව මැදට ඔබේ හිත ගෙන ආවහම බලන්න..... ඒ හරිය දැනෙන්නේ මොනවාද කියා....... දැනෙන ඕනෑම දැනීමක්..... ගුලියක් වගේ .....හිරවීමක්.... දැවිල්ලක්.... තදවීමක්... සීතලක්... හුස්ම ස්පර්ශ වීමක්.... හදගැස්ම හෝ මුකුත්ම නැති අවකාශමය හිස් බවක් වගේ..... මොනා හරි දෙයක් දැනෙන්නට පුලුවන්.... ඒ ඒ වෙලාවට දැනෙන එක අරමුණු කරගන්න..... ඒකම සංවේදනය කරමින් ඉන්න.... හිත කල්පනාව ලෝක වලට දුවනවා ......මොකද ඔබ කාලාන්තරයක් තිස්සේ එය පුහුණු කළ නිසා..... නැවත ගන්න ආපහු යයි..... නැවත නැවත ගන්න.... මේක ටිකක් ලේසි නැහැ.... අමාරුවෙන් හරි ගොඩ දාගත්තොත්   දිව්‍ය ලෝක වලට ආස කරන එකකුත් නැහැ...... මොකද හැමදේම එතැන තියෙන නිසා.... ඒකත් විඳලම බලන්න ඕන දෙයක් මිස හිත දන්නෙම නෑ...... ඒ නිසා හිතට සැකයි...... ආ ඇත්තද ඕවා කරලා මොනවා වෙයිද දන්නේ නැහැ..... ඉතින් හිතට වහල් වුන  අය නම් ඇත්තටම පව්.......කරුමෙ තමයි...මේවා තේරෙන්නත්....දැනෙන්නත්....කරන්නට තීරණ ගන්නටත් පොඩි පිනක් නම් ඕන........ 

දවසට දෙවරක් අඩුම පැය බාගයක්වත් උදේ හවස පුටුවක වාඩි වාඩි වෙලා සේරම නවත්තලා ....මේක ප්‍රගුණ කරන්න. ටික කාලයක් යනවිට වැඩේ අහු වෙවී ....ඊට පස්සේ ටිකෙන් ටික දවසේ වැඩ කරන අතරතුර පපුව සංවේදනය කිරීම ප්‍රගුණ කරන්න....... ඔබට දැනේවි යම් කාලයක් යන විට අයිස් කුට්ටියක් වගේ freeze වෙලා  තිබූ ඔබේ හැඟීම් පද්ධතිය ක්‍රමයෙන් දිය වෙනවා.... එය දිය වෙන්න වෙන්න ඔබම ආදරේ බවට පත් වේවි..... ඔබ තුළින් හේතුවක් රහිත..... පුද්ගල ස්වභාවයක් නැතිව..... බාහිර කරුණක් නැතිව ......ඔබට ඔබම ආදරය කරාවි...ආදරය ඇතුලෙන් ගලා ඒවි....ඒක ඉබේ වෙන දෙයක්..... කිසිම දෙයක් නැතිව....... කලින් තිබූ තනිකම.... පාළුව.... අසහනයට ....උන දෙයක් CID  එක දාල වත් හොයාගන්න බැරි වේවි. 

ඔබ ඒ තුළ දිගින් දිගටම පවතින විට එක තැනකින් එහාට.....හරියට උල්පතකින් ජලය උතුරා යනවා වගේ ඔබේ ආදරය අසීමාන්තිකව උතුර යාවි හැම දිශාවකටම. කොන්දේසි විරහිතව ඔබ අන් අයට ආදරය කරාවි.නමුත් ඔබට ඔවුන්ගේ ආදරය හෝ අවධානය හෝ මොනයම් දෙයක්වත් ඔබට ඕන නැති වේවි.... කොන්දේසි.... බන්දේසි රහිත ඔබ කරන්නේ ආදරේ දීමක් ම පමණයි.... ඒ වචනයකින්.... හැඟීමකින්.... බැල්මකින් ....හෝ මොනයම් ක්‍රියාවකින් ඔබෙන් පිටාර ගලාවි....එයයි නියම ආදරණීය භාවය..... ඉහළ ම ආධ්‍යාත්මික ස්වරූපය ....එය දිව්‍යමය ජීවිතයක් වේවි...මෙතනින් එහාට........ මනුෂ්‍ය පරිණාමයේ ඉහළම මුදුන එතනයි..... 

ඔබ ඒ තත්ත්වයට පත් වී ඉන්න අතරේ ඒ හා සමාන තවත් කෙනෙක් ඔබට මුණ ගැහුණොත් massive wave දෙකක්.... spark වී විශ්වය පුරා විහිද යාවි...... ඒ නම් ඉතාම දුර්ලභ ....අහඹු... නමුත් හිතන්නවත් ....විස්තර කරන්නවත් .....බැරි අත්දැකීම් සමුදායක් වේවි...... 


ආදරේ මායාව සහ සැබෑව ලිපිපෙළ මෙතකින් නිමාවෙනවා... එයින් අදහස් කරන්නේ නැහැ මා ආදරය ගැන කතා නොකරනවාය කියා.... මෙතෙක් මගපෙන්වීම ලබා දුන්නේ ඔබ ඉන්න තැන ඉඳන් ආදරේ උද්‍යානයට ඇතුල් වෙන ආකාරය ගැනයි..... ඒ ගේට්ටුවෙන් ඇතුල් වන මාර්ග සිතියමයි මේ ලිපිවලින් පෙන්වා දුන්නේ..... කියෙව්වට විතරක් නම් මදි වේවි..... තවත් වෙනත් ලිපි පෙලක් ඒවි....ඒ උද්‍යානය ඇතුළත සහ සැරිසරන විදිහ ගැන...ඊට  කලින් ඔබ එම උද්‍යානයට  ඇතුල් විය යුතුයි.... එතනින් එහාට ඒවා අනිවාර්යයෙන්ම තේරුම් යනවා ඇත්තේ .....ඒවා දැනෙනවා ඇත්තේ...... ගේට්ටුවෙන් ඇතුළු වූ  අයටම පමණයි. තර්කයෙන් බලන අයට..... ඒවා නවකතා වේවි... ඉතින් කැමති කෙනෙක් ඔය පාරෙ ගිහින් බලන්න .....ගේට්ටුවෙන් ඇතුල් වෙන්න...... උද්‍යානයේ ඇතුලේ දේවල් අපට බෙදා ගන්න පුළුවන් දවස වැඩි ඈතක නොවේවි........

ප්‍රධාන කර්තෘ
- නුවන් රාජපක්ෂ -

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

Post a Comment

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.