![]() |
16 Personalities - MBTI |
ඔබ අයත් වන කාණ්ඩය කුමක්ද?
ලෝකයේ සිටින මිනිසුන්ගේ පෞර්ෂත්වයන් එකිනෙකට වෙනස්. නිශ්චිතවම පවසනවා නම් ඔබේ පෞර්ෂත්වයට සර්වසම තවත් පෞර්ෂත්වයක් මිහිමත තිබීමට ඉඩකඩ අල්පයි. නමුත් ඔබේ පෞර්ෂත්වයට බොහෝ සෙයින් සමාන පුද්ගලයන් ඔබට ජීවිත කාලය පුරාවටම අනන්තවත් මුණ ගැසී ඇති. ලෝකයේ වෙසෙන පුද්ගලයන්ව ඔවුන්ගේ පෞර්ෂත්වයන් අනුව කොටස් කිහිපයකට වෙන් කිරීම සඳහා තමයි MBTI හෙවත් මයර්ස්-බ්‍රිග්ස් වර්ගීකරණ දර්ශකය (Myers–Briggs Type Indicator) නිර්මාණය කර තිබෙන්නේ.
අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වෙබඩවිවල ප්‍රශ්නාවලි (quiz) භාවිතා කරන්න පුලුවන්. 16 Personalities quiz හෝ MBTI quiz යන යෙදුම් සර්ච් කර ප්‍රශ්නාවලි සොයාගැනීමට පුලුවන්.
මෙම MBTI දර්ශකය නිර්මාණය වන්නේ ඇමරිකානු ජාතික කැතරීන් බ්‍රිග්ස් හා ඇයගේ දියණිය වූ ඉසබෙල් බ්‍රිග්ස් මයර්ස් දෙදෙනා විසින්. ඒ, ස්විට්සර්ලන්ත ජාතික මනෝවෛද්‍යවරයෙකු වූ Carl Jung ගේ Psychological Types සිද්ධාන්තය ඇසුරින්. Carl Jung ගේ මෙම සිද්ධාන්තයට අනුව මූලික වශයෙන් මිනිසාගේ සවිඥානයේ (Consciousness) කාර්යයන් හතරක් තිබෙනවා.
තාර්කික කාර්යයන් (Rational Functions)
1. Thinking (සිතීම) - T
2. Feeling (හැඟීම) - F
තාර්කික නොවන කාර්යයන් (Non-Rational Functions)
3. Sensation (සංවේදනය) - S
4. Intuition (සහජඥානය) - N
MBTI සඳහා මීට අමතරව තවත් චෛතසික ස්වභාවයන් භාවිතා කර තිබෙනවා.
5. Introversion (අන්තර්වර්තනය) - I
6. Extroversion (බහිර්වර්තනය) -
E
7. Perceiving (ප්‍රත්‍යක්ෂය) - P
8. Judging (විචාරය) - J
මෙම දර්ශකයට අනුව, මෙම කාණ්ඩ හතරෙන්, ලක්ෂණ දෙකෙන් එකක් බැගින් ලක්ෂණ හතරක් ප්‍රමුඛ වන ලෙස පෞර්ෂත්වය සැකසී තිබෙනවා. ඒ අනුව MBTI මගින් පෞර්ෂත්ව කාණ්ඩ 16ක් (16 Personalities) හඳුන්වා දී තිබෙනවා.
INTJ, INFJ, INTP, INFP
ISTJ, ISFJ, ISFP, ISTP
ENTJ, ENFJ, ENTP, ENFP
ESTJ, ESFJ, ESFP, ESTP
මේ අතරින් ලෝකයේ බහුලවම දකින්නට ලැබෙන පෞර්ෂත්වයන් ලෙස සැලකෙන්නේ පිළිවෙලින් ISFJ, ESFJ හා ISTJ යන කාණ්ඩයි. දුර්ලභම යැයි සැලකෙන්නේ පිළිවෙලින් INFJ, ENTJ හා INTJ යන කාණ්ඩයි. ඒ අතරිනුත් INFJ කාණ්ඩය හිමිකම් කියන්නේ ලෝක ජනගහණයෙන් 1.5%ක් වැනි කුඩා ප්‍රතිශතයකට පමණයි. නමුත් මෙම දත්ත ලබාගෙන ඇත්තේ එම MBTI පරීක්ෂාව සිදු කර ඇති පුද්ගලයන්ගේ දත්තවලින් පමණක් නිසා නිශ්චිතව ලෝකයේ මෙපමණ ප්‍රමාණයක් මෙම කාණ්ඩවලට අයත් වෙනවා යැයි කියන්න බෑ.
MBTI දර්ශකයේ ප්‍රසිද්ධිය හමුවේ ඇමරිකානු මනෝවිද්‍යාඥ David Keirsey විසින් ග්‍රීක දර්ශනවේදය අනුව ඒ එක් එක් පෞර්ෂත්වය සඳහා චිත්තස්වභාවයන් (Temperaments) 16ක් හඳුන්වා දී තිබෙනවා. මෙම චිත්ත ස්වභාවයන් හා පෞර්ෂත්ව 16හි ස්වභාවයන් අතර යම් යම් මතභේදයන් ද ගොඩනැගී තිබෙනවා. එම නිසා, එම පෞර්ෂත්ව 16 පිළිබඳව, එම එක් එක් පෞර්ෂත්වය සඳහා වර්තමානයේ බහුලවම පිළිගන්නා චිත්ත ස්වභාවයන් සමග කෙටි විස්තරයක් පහතින් සඳහන් කරන්නම්. අප සිනමාවේ, ප්‍රබන්ධයන්හි දකිනා චරිත අන්තර්ජාල පරිශීලකයන් විසින් එම පෞර්ෂත්ව 16ට අනුව වර්ගීකරණය කර ඇති ආකාරය ද මෙහි දක්වන්නේ එම පෞර්ෂත්වයන්හි ස්වභාවය අවබෝධ කරගැනීමට පහසුවක් වශයෙන්.
The Introverts
💡 𝐈𝐍𝐓𝐉 - 𝐓𝐡𝐞 𝐀𝐫𝐜𝐡𝐢𝐭𝐞𝐜𝐭
මොවුන් ඉතා බුද්ධිමත් මෙන්ම දැනුමින් පිරි කොට්ඨාසයක්. තාර්කිකව සිතා බැලීමට මෙන්ම තමන්ගේ පරිකල්පනය භාවිතා කිරීමට ද සහජ දක්ෂයන්. සමාජය කෙසේ සිතුවත් ඔවුන් පෙළඹෙන්නේ තමන්ගෙ ඉලක්ක කරා ළඟාවෙන්න. මොවුන් බාධක සාර්ථකව මැඩපවත්වමින් ගැටළු නිරාකරණය කිරීමට දක්ෂයන්. එමෙන්ම සැලසුම්කරණයට දක්ෂයන්. ඔබට යම් ගැටලුවකට සත්‍යවාදී, තාර්කික පිළිතුරක් අවශ්‍ය නම් ඔබ සොයා යා යුත්තේ INTJ කෙනෙක්ව.
නමුත් සමහරවිට මොවුන් තරමක් රළු යැයි කෙනෙක්ට සිතෙන්න පුලුවන්. එයට හේතුව තමයි මොවුන් තමන්ගේ හදවතට වඩා බුද්ධියට ඇහුම්කන් දීම. නමුත් මොවුන් ද තමන්ගේ සහජ ඥානය (Intuirion) හොඳින් භාවිතා කරන්නන්. එම නිසා ඔබ දකිනවාට වඩා මොවුන් තුළ අන් අය කෙරෙහි විශාල අනුකම්පාවක් තිබෙනවා.
ප්‍රසිද්ධ පුද්ගලයන් - Elon Musk, Christopher Nolan, Nikola Tesla, Vladimir Putin, C.S. Lewis
ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත - Walter White (Breaking Bad), Littlefinger (Game of Thrones), Professor Moriarty (Sherlock Holmes), Lord Elrond (The Lord of the Rings), King Turgon (The Silmarillion)
🔍 INTP - The Logician
මොවුන් දැනුම හඹායන්නන්. තරමක් දුර්ලභ කොට්ඨාසයක්. බොහෝ විද්‍යාඥයන් හා දාර්ශනිකයන් INTP ගණයට වැටෙනවා. අභිරහස් විසඳීමට කැමති පුද්ගලයන්. රටා විශ්ලේෂණයට උපන් හපන්කම් දක්වන්නන්. මොවුන්ගේ විශේෂ ලක්ෂණය තමයි ඉතා හොඳ පරිකපනයක් සහිත විවෘත මනසකින් හෙබි පුද්ගලයන් වීම. ඔබට අභිරහසක් විසඳාගැනීමට අවශ්‍ය නම් INTP කෙනෙක් ළඟට යන්න. නොකා නොබී හරි අභිරහස විසඳා දෙයි.
නමුත් මොවුන් සමහරවිට තමන්ගේ ඇතුළාන්තර තර්කනයත් එක්ක අතරමං වෙලා ඉන්නවා වගේ පේන්න පුලුවන්. එයට හේතුව තමයි ඔවුන් සතු නිම නොවෙන කුතුහලය. ඒ වගේමයි මොවුන් කැමතියි කරන වැඩේ පරිපූර්ණ විදියටම කරන්න.
ප්‍රසිද්ධ පුද්ගලයන් - Bill Gates, Albert Einstein, Isaac Newton
ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත - Neo (The Matrix), Bruce Banner (Hulk), Jack Ryan
💭 𝐈𝐍𝐅𝐏 - 𝐓𝐡𝐞 𝐌𝐞𝐝𝐢𝐚𝐭𝐨𝐫
මොවුන්ව හඳුන්වන්නේ සිහින දකින්නන් ලෙසයි. එයට හේතුව මොවුන්ගේ අතිදක්ෂ පරිකල්පන හැකියාව. මොවුන් බොහෝවිට ඉතා සංවේදී පුද්ගලයන්. අනිත් අයට හොඳින් අනුකම්පාව දක්වනවා. ධනාත්මක සිතිවිලි සහිත අය. ඒ වගේමයි විවෘත මනසකින් ලොව දකින පුද්ගලයන්. සාමාන්‍යයෙන් අනිත් අයව පාගා උඩට යනවා කියන දේ මොවුන්ට අප්‍රියජනක දෙයක්. හැම දෙනෙක් ගැනම හොඳින් හිතන අය. ඔබට ගැඹුරු කතාබහක් කිරීමට අවශ්‍ය නම් එයට වඩාත්ම ගැලපෙන්නේ මොවුන්ව.
සමහරු මොවුන්ව දකින්නේ සිහින ලෝකවල ජීවත් වන්නන් ලෙසටයි. එයට හේතුව තමයි මොවුන්ගේ විශිෂ්ට පරිකල්පන හැකියාව. මොවුන්ගේ සංවේදීභාවය සමහරවිට මොවුන්ටම ලොකු අවාසියක් වෙන්න පුලුවන්. නමුත් INFP කාණ්ඩය, පෞර්ෂත්ව 16 අතරින් අහිංසකම කොටසක් ලෙස දක්වන්න පුලුවන්.
ප්‍රසිද්ධ පුද්ගලයන් - Professor J.R.R. Tolkien, William Shakespeare, Tom Hiddleston
ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත - Frodo Baggins (The Lord of The Rings), Fox Mulder (X Files), Luke Skywalker (Star Wars)
👁️ 𝐈𝐍𝐅𝐉 - 𝐓𝐡𝐞 𝐀𝐝𝐯𝐨𝐜𝐚𝐭𝐞
මොවුන් ඉහත කී සියල්ලන්ගේම එකතුවක් වගේ. නමුත් අනිත් කිසිදු කාණ්ඩයකට නැති සුවිශේෂී ලක්ෂණ මොවුන්ට තිබෙනවා. මොවුන් ඉතාමත් ප්‍රතිපත්තිගරුක පුද්ගලයන්. යක්ෂයා පැමිණ බිය ගැන්වූවත් ප්‍රතිපත්ති නොකඩන ජාතියේ පුද්ගලයන්. අනාගතය නිවැරදිව දැකීම, මිනිසුන්ගේ ස්වභාවය කියවීම වැනි ඉතා දුර්ලභ හැකියා මොවුන්ට තිබෙනවා. එම නිසාම අන්තර්ජාලයේ නම් මොවුන්ව විහිලුවට හඳුන්වන්නේ මායාමය ජීවීන් හෝ අධිමානසික හැකියා සහිත පුද්ගලයන් ලෙසයි. අන් අයට උපකාර කිරීම, ලෝකය යහමගට ගැනීම තරම් තවත් අරමුණක් මොවුන්ට නෑ. ඉතා විශිෂ්ට පරිකල්පන ශක්තියක් සමගින් තර්කානුකූලව සිතීමේ හැකියාවක් මොවුන් සතුයි. නව්‍ය අදහස් හා විවෘත මනසක් සහිත අය. යම් කාර්යයක් කිරීමට කැමැත්තක් දක්වන්නේ එය අර්ථානුකූලයි නම් පමණයි.
මොවුන් ද ඉතා සංවේදී පුද්ගලයන්. නමුත් තමන්ගේ ගැටළු පැවසීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. මේ නිසා අන් අය සිතන්නේ මොවුන් සැමවිටම සතුටින් සිටිනවා කියා. අන් අයගේ දෝෂාරෝපණ හමුවේ සංවේදී වීම නිසා මොවුන් ඉක්මණින් මානසිකව වෙහෙසට පත්වීමට හැකියි. එම නිසාම බොහෝ විට තනිව සිටීමට කැමතියි. මොවුන්ද තමන් කරන වැඩේ පරිපූර්ණවම කිරීමට දක්ෂ පුද්ගලයන්.
ප්‍රසිද්ධ පුද්ගලයන් - Nelson Mandela, Nicole Kidman, Hitler
ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත - Lady Galadriel (The Lord of The Rings), Atticus Finch (To Kill a Mockingbird), Jon Snow (Game of Thrones), Obi Wan Kenobi (Star Wars), Batman (DC)
📝 𝐈𝐒𝐓𝐉 - 𝐓𝐡𝐞 𝐋𝐨𝐠𝐢𝐬𝐭𝐢𝐜𝐢𝐚𝐧
මොවුන් වැඩකරන්න දක්ෂයි. ඉතා දැඩි කැපවීමක් තිබෙනවා. ඒ වගේමයි හොඳ ප්‍රායෝගික චින්තනයක් සහිත ඉතාමත් ස්වාධීන පුද්ගලයන්. තමන්ගෙ වටපිටාව හොඳින් අධ්‍යයනය කරලා, යම් අරමුණකට ළඟාවෙන්න සුදුසුම මාර්ගය සොයාගන්න දක්ෂයන්. ඉතා අවංක වගේමය වගකීම්සහගත හා සෘජු පුද්ගලයන්. ඉතා සන්සුන් මනසක් තිබෙන මොවුන් වැඩක් පටන්ගත්තොත් ඉවර කරලමයි නවතින්නෙ. ව්‍යාකූලත්වය මගහැරගෙන සංවිධානාත්මකබව පවත්වාගැනීමට කැමතියි. බොහෝ විට ඉතා විශාල දක්ෂතා ප්‍රමාණයක් සහිත පුද්ගලයන්.
නමුත් සමහරවිට මොවුන් තරමක් දඩබ්බරයි යැයි සිතෙන්න පුලුවන්. එයට හේතුව තමයි පොතේ හැටියටම වැඩකිරිම. සමහරවිට මොවුන් තමන්ටම දොස් පවරාගන්න අවස්ථාත් තිබෙනවා. නමුත් බොහෝ විට සිදුවන්නේ වගකීම් සියල්ල නොදැනුවත්වම මොවුන්ගේ කරපිට පැටවීමයි. එයට හේතුව මොවුන්ගේ දැඩි අවංකභාවය හා වගකීම්සහගත භාවය.
ප්‍රසිද්ධ පුද්ගලයන් - George Washington, Angela Merkel, Natalie Portman
ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත - Aragorn (The Lord of The Rings), Hermione Granger (Harry Potter), Dana Scully (X Files)
🛡️ 𝐈𝐒𝐅𝐉 - 𝐓𝐡𝐞 𝐃𝐞𝐟𝐞𝐧𝐝𝐞𝐫
ඔබට අවශ්‍යද කිසිදා ඔබ හැර නොයා ඔබ ළඟින්ම සිට ඔබට පණ වුණත් දෙන්න කැමති හොඳ යාලුවෙක්? එසේ නම් එයට වඩාත්ම ගැලපෙන්නේ මොවුන්. බොහෝ විට නිහඬවම ලොකු සේවයක් කරන පුද්ගලයින්. ඉතා නිහතමානීයි. මොවුන්ට ඉතා හොඳ මතකයක් තිබෙනවා. විවෘත මනසක් සහිතයි. අන් අයව ආරක්ෂා කිරීමට උපන්හපන්කම් සහිත පුද්ගලයන්. ඉතා හොඳ ඉවසිලිවන්ත පුද්ගලයන්. ඒ වගේමයි මොවුන්ට හොඳ පරිකල්පන හැකියාවක් තිබෙනවා. මොවුන්ගේ විශේෂම ලක්ෂණය තමයි පක්ෂපාතීත්වය. තමන්ගේ වාසිය වෙනුවෙන් කිසිම විටෙක අනිත් අයව පාවා දෙන්නේ නෑ. තමන්ගේ ආදරණීයයන්ව පණ වගේ ආරක්ෂා කරන පුද්ගලයන්.
නමුත් මොවුන් බොහෝ විට ලැජ්ජාශීලී ගතිගුණ පෙන්වනවා. ඒ වගේමයි තමන් ගැන හිතනවාට වඩා අනුන් ගැන හිතනවා. ඒකෙන් සමහරවිට මොවුන්ගේ වැදගත්කම ලෝකයෙන් සැඟව යාමට පුලුවන්. අනිත් සියල්ලන්ගේම වැඩ තමන්ගේ කරපිට තබාගෙන, තමන් වෙනුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී වැඩ කිරීමට සහජ හැකියාවක් දක්වන පුද්ගලයින්.
ප්‍රසිද්ධ පුද්ගලයන් - Kate Middleton, Halle Berry, Mark Hamill
ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත - Samwise Gamgee (The Lord of The Rings), Dr. Watson (Sherlock Holmes), Elijah Mikaelson (The Originals), Captain America (Marvel), King Fingon (The Silmarillion)
🛠️ 𝐈𝐒𝐓𝐏 - 𝐓𝐡𝐞 𝐕𝐢𝐫𝐭𝐮𝐨𝐬𝐨
මොවුන් නව නිර්මාණ හා අත්හදාබැලීම් කිරීමට බෙහෙවින් කැමති පුද්ගලයන්. ඒ වගේමයි අවට පරිසරය ගවේෂණයටත් ප්‍රියතාවයක් දක්වනවා. වැටි වැටි නැගිටින ජාතියෙ, හැබැයි වැරදීම්වලින් හොඳට ඉගෙනගන්න පුද්ගලයන්. තමන්ගෙ දැනුම හා ශිල්පය අනිත් අයට බෙදාදෙන්න කැමති අය. ධනාත්මක ආකල්ප දරණ ක්‍රියාශීලී පුද්ගලයන්. මේ අයගෙ අදහස් වගේම වැඩත් බොහොම නිර්මාණශීලීයි. ඒ වගේමයි හරිම ප්‍රායෝගිකයි. ආපදා අවස්ථාවන්ට මුහුණදෙන්න සහජ හැකියාවක් තියෙන අය.
හැබැයි ගොඩක් වෙලාවට මොවුන් හිතුවක්කාර විදියට පෙනෙන්න පුලුවන්. එයට හේතුව තමයි මොවුන්ගේ වැඩවලට අනිත් අය ඇඟිලි ගහලා මොවුන්ගේ දිශානතිය වෙනස් කරන්න හැදුවොත් සෘජුව ඒ සම්බන්ධයෙන් කතා කිරීම. ඒ වගේමයි මොවුන් අවදානම් ගන්න බය නැති, එකම දේ දිගටම කිරීමටත් කැමති නැති අය.
ප්‍රසිද්ධ පුද්ගලයන් - Tom Cruise, Bear Grylls, Mila Jovovich
ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත - Arya Stark (Game of Thrones), Princess Eowyn (The Lord of The Rings), Indiana Jones (Indiana Jones series), Princess Luthien (The Silmarillion)
🎮 𝐈𝐒𝐅𝐏 - 𝐓𝐡𝐞 𝐀𝐝𝐯𝐞𝐧𝐭𝐮𝐫𝐞𝐫
මොවුන් ඉතාමත් කලාකාමී පුද්ගලයන්. රාමුවකට හිරවෙලා ඉන්න කැමති නැති, නිර්මාණශීලී පුද්ගලයන්. කොතරම් අත්දැකීම් ලබාගැනීමට කැමති වුණත් වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ තනිව සිටීමටයි. අනිත් අයගේ හැඟීම් ගැන හොඳින් සිතන මොවුන් සාමය වැනි සංකල්ප දැඩි ලෙස අගය කරනවා. බොහොම පරාර්ථකාමී අය. මොවුන් නිරන්තරවම අන් අයගේ ප්‍රශංසාව දිනාගන්නවා. බොහොම ප්‍රසන්න ගතිපැවතුම් තිබෙන අය. ඒ වගේමයි හොඳ පරිකල්පන හැකියාවක් තිබෙනවා. එමෙන්ම තරඟකාරීත්වයට තරමක් නැඹුරු අය.
නමුත් සමහර වෙලාවට මොවුන් අනපේක්ෂිත හැසිරීම් පෙන්වනවා. ඒ වගේමයි අනපේක්ෂිත හා පීඩාකාරී සිදුවීම්වලදී ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ නිහඬව පැත්තකට වී සිටීමෙන්.
ප්‍රසිද්ධ පුද්ගලයන් - Michael Jackson, Britney Spears, Frida Kahlo
ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත - Prince Legolas (The Lord of The Rings), Kate Austen (Lost), Thea Queen (Arrow), Prince Maglor (The Silmarillion)
𝐓𝐡𝐞 𝐄𝐱𝐭𝐫𝐨𝐯𝐞𝐫𝐭𝐬
⛱️ 𝐄𝐍𝐅𝐏 - 𝐓𝐡𝐞 𝐂𝐚𝐦𝐩𝐚𝐢𝐠𝐧𝐞𝐫
මේ අයත් හොඳ පරිකල්පන හැකියාවක් තියෙන අය. හරිම ස්වාධීනයි. ඒ වගේමයි හොඳ ස්ථාවරත්වයක් තියෙන අය. අනිත් අයගේ ගැටළුවලට සාර්ථක උපදෙස් දෙන්න මොවුන්ට හොඳ හැකියාවක් තියෙනවා. හොඳ කුතුහලයක් තියෙන නිර්මාණශීලී පුද්ගලයන්. මොවුන්ට විවෘත මනසක් තියෙනවා. ඒ වගේමයි හොඳ සන්නිවේදන හැකියාවක් තියෙනවා. හරිම මිත්‍රශීලී පුද්ගලයන්. ජීවිතයේ සතුට සොයායන්නන්.
නමුත් මොවුන්ගේ අදහස් යථාර්ථයන් බවට පත්කිරීමට මොවුන් තරමක මැලිකමක් පෙන්වන්න පුලුවන්. ඒ වගේමයි සමහර දේවල් ගැන ඕනෑවට වඩා සිතන්න පෙළඹෙනවා. මොවුන්ගේ සංවේදීභාවය සමහර විටෙක මොවුන්ට අවාසියක්වන්නට පුලුවන්. නමුත් මේ අය සමාජයේ වෙසෙන තවත් සාමකාමීම කොට්ඨාසයක්.
ප්‍රසිද්ධ පුද්ගලයන් - Will Smith, Robin Williams, Anne Frank
ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත - Willy Wonka (Charlie and the Chocolate Factory), Ahsoka Tano (Star Wars), Lady Arwen (The Lord of The Rings
♠️ 𝐄𝐍𝐓𝐉 - 𝐓𝐡𝐞 𝐂𝐨𝐦𝐦𝐚𝐧𝐝𝐞𝐫
මේ අය උපතින්ම නායකයන්. මොවුන්ගේ ආකර්ෂණීයත්වය හේතුවෙන් මොවුන් වටා විශාල පිරිසක් රැස් වෙනවා. ඉතාමත් තාර්කිකව සිතා බලා කාර්යයන් සැලසුම් කිරීමට දක්ෂ අය. මොවුන්ට යම් සාමූහික අරමුණක් ඉටු කිරීමට දුන්නොත්, තමන්ගේ තීක්ෂණ නුවණයි කැපවීමයි භාවිතා කරලා අන් අයවත් ඒ කරා මෙහෙයවමින් එය ඉටු කිරීමට හොඳ හැකියාවක් තිබෙනවා. අන් අයගේ හැකියා හඳුනාගැනීමටත් ඒවා අගය කිරීමටත් හොඳ දක්ෂතාවයක් තිබෙනවා. ඉතා කාර්යක්ෂම හා ක්‍රියාශීලී පුද්ගලයන්.
නමුත් සමහර වෙලාවට මොවුන් දැඩි හිතුවක්කාරී ස්වරූපයකින් කටයුතු කිරීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන් තමන්ගේ මතයට අන් අයව නම්මවාගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේමයි හැඟීම් පාලනය අවුල් සහගත වීමට පුලුවන්. නමුත් මොවුන්ගේ නායකත්වය සමාජයට ඉතා වැදගත්.
ප්‍රසිද්ධ පුද්ගලයන් - Steve Jobs, Gordon Ramsay, Jim Carrey
ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත - Dark Lord Sauron (The Lord of The Rings), Darth Vader / Anakin Skywalker (Star Wars) Doctor Strange (Marvel), Lord Voldermort (Harry Potter)
🎙️ 𝐄𝐍𝐓𝐏 - 𝐓𝐡𝐞 𝐃𝐞𝐛𝐚𝐭𝐞𝐫
මොවුන් විවාදයෙහි, විචාරයෙහි දක්ෂයන්. අන් අය සමග අදහස් හුවමාරු කරගනිමින් හා එම අදහස් විචාරය කරමින්, යම් අරමුණක් කරා අන් අයගේ අදහස් යොමු කිරීමට දක්ෂයන්. රැකියාවේ දී තමන්ගේ ඉහළ කළමනාකාරීත්වය පවා නොපැකිළිව ප්‍රශ්න කරනවා. නව්‍ය අදහස් ග්‍රහණය කරගැනීමට දක්ෂයි. ඉක්මණින් සිතීමට හා තීරණ ගැනීමට හැකි අය. අන් අය මොවුන්ව දකින්නේ ඉතා ක්‍රියාශීලී හා ප්‍රසන්න පුද්ගලයන් ලෙසයි.
නමුත් විවාදයට හා විචාරයට මොවුන් දක්වන දක්ෂතාවය අන් කෙනෙක්ට කරදරයක් සේ හැඟෙන්න පුලුවන්. ඒ වගේමයි මොවුන් අධිකව තාර්කිකව සිතීම හේතුවෙන් අන් අයගේ හැඟීම් තේරුම් ගැනීමට මොවුන්ට අපහසු වෙන්න පුලුවන්. නමුත් එම විචාරාත්මක හැකියාව නිසාම brainstorming වැනි කාර්යයන් සඳහා මොවුන් ඉතා වැදගත් පිරිසක් වනවා.
ප්‍රසිද්ධ පුද්ගලයන් - Mark Twain, Thomas Edison, Celine Dion
ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත - Irene Adler (Sherlock Holmes), Dr. Emmet Brown (Back to the Future), The Joker (DC), King Feanor (The Silmarillion)
👑️ 𝐄𝐍𝐅𝐉 - 𝐓𝐡𝐞 𝐏𝐫𝐨𝐭𝐚𝐠𝐨𝐧𝐢𝐬𝐭
මොවුන්ද සහජයෙන්ම නායකයන්. සමාජය සාමූහිකව යහපත් මාර්ගයකට ගෙන යාම තමයි මොවුන්ගේ අරමුණ. අන් අයගේ හැකියා පිළිබඳ හොඳ අවබෝධයකින් යුතු මොවුන්, එක් එක් පුද්ගලයාගේ පෞර්ෂත්වය මැනවින් අවබෝධ කරගෙන ඔවුන්ට නැගී සිටීමට උදවු කරන්නන්. අවංක හැඟීමකින් පරාර්ථකාමීව අන් අය වෙනුවෙන් සේවයේ යෙදෙන්නන්. ඒ වගේමයි තමන්ගේ අදහස් හා තමන් විශ්වාස කරන්නන් වෙනුවෙන් දිවි පිදීමට පවා සූදානම් පුද්ගලයන්. කණ්ඩායමක් සමග වැඩ කිරීමට හොඳ හැකියාවක් තිබෙනවා. ඔබට උදවුවක් අවැසි මොහොතකදී නොපැකිළිව ඔබට උදවු කිරීමට කැමති පුද්ගලයන් තමයි මේ අය.
නමුත් මොවුන්ගේ එම ප්‍රවණතාවයම මොවුන්ට විනාශය කැඳවාගෙන එන්න පුලුවන්. කෙතරම් පරාර්ථකාමී වුණත් මොවුන් තරමක් හැඟීම්බර පුද්ගලයන්. නමුත් තමන්ගේ ක්‍රියාවන් හේතුවෙන් අනාගතය හැඩගැස්වෙන ආකාරය පිළිබඳව සාර්ථකව අනාවැකි පළ කළ හැකි පුද්ගලයන්.
ප්‍රසිද්ධ පුද්ගලයන් - Oprah Winfrey, Ben Affleck, Matthew McConaughey
ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත - Morpheus (The Matrix), The Oracle (The Matrix), Prince Faramir (The Lord of The Rings), King Finrod Felagund (The Silmarillion)
💼 𝐄𝐒𝐓𝐉 - 𝐓𝐡𝐞 𝐄𝐱𝐞𝐜𝐮𝐭𝐢𝐯𝐞
මොවුන් තරමක් සාම්ප්‍රදායික ලෙස සිතන පුද්ගලයින්. සාම්ප්‍රදායික අගයන් හා රීතීන් සුරකිමින් සමාජය එකමුතු කිරීමට වෙර දරන පුද්ගලයන්. ඒ වගේමයි ප්‍රතිපත්තිගරුක පුද්ගලයන්. අවවාදයට වඩා ආදර්ශය උතුම් යන සංකල්පය පෙරදැරි කරගත්ත පුද්ගලයන්. මොවුන් තනිවම වැඩකරනවාට වඩා සමූහයක් සමග වැඩ කිරිමට කැමතියි. දැඩි කැපවීමක් සහිත, හොඳ සංවිධානාත්මක හැකියාවන් සහිත පුද්ගලයන්. අවංකභාවය දැඩි ලෙස අගය කරන්නන්.
නමුත් බොහෝ විට නම්‍යශීලීත්වයෙන් අඩු පුද්ගලයන්. ඒ වගේමයි අන් අය විනිශ්චය කිරීමට පෙළඹෙන්න පුලුවන්. නව්‍ය අදහස්වලට තරමක් පැකිලීමක් දක්වන අතර සමාජයේ තමන්ගේ තත්වය පවත්වාගෙන යාමට උත්සාහ කරන පුද්ගලයන්.
ප්‍රසිද්ධ පුද්ගලයන් - Frank Sinatra, Alec Baldwin, Uma Thurman
ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත - Boromir (The Lord of The Rings), Professor Minerva McGonagall (Harry Potter), King Thingol (The Silmarillion)
🎉️ 𝐄𝐒𝐅𝐉 - 𝐓𝐡𝐞 𝐂𝐨𝐧𝐬𝐮𝐥
ඔබ විනෝද සාදයකට සහභාගි වී තිබෙනවාද? මොවුන් තමයි ඒ සාද පිටුපස සිටින මහමොළකරුවන්. මොවුන්ගේ ප්‍රධාන අරමුණ සමාජයට යහපතක් සිදු කිරීම. සමාජයීය වටිනාකම්, ප්‍රතිපත්තීන් දැඩිව අගය කරනවා. සමාජ සේවා ව්‍යාපෘතීන් සැලසුම් කිරීමට මොවුන් ඉතාමත් කැමතියි. කළමනාකාරීත්ව ලක්ෂණ බොහෝමයක් මොවුන් සතුයි. තමන්ගේ අදහස් අන් අය අතරට ගෙන යාමට මොවුන් කොපමණ වෙර දැරුවත් මොවුන් එය ඒකාධිපතීත්වයකින් කරන්නේ නෑ. සංවේදී පුද්ගලයන් වගේම හරිම පරාර්ථකාමී පුද්ගලයන්.
නමුත් මොවුන් තමන්ගේ සමාජ තත්වය පිළිබඳව ලොකු තැකීමක් කරනවා. ඒ වගේමයි නව්‍ය අදහස්වලට එතරම් නම්‍යශීලී නෑ. සාම්ප්‍රදායික චින්තනය ඉතා අගය කරනවා. ඒත් මොවුන්ගේ මූලික පරමාර්ථය සමාජයට යහපතක් කිරීමයි.
ප්‍රසිද්ධ පුද්ගලයන් - Elton John, Taylor Swift, Hugh Jackman
ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත - Bilbo Baggins (The Lord of The Rings), Dorothy (The Wizard of Oz), Mrs. Hudson (Sherlock Holmes), Sansa Stark (Game of Thrones), King Fingolfin (The Silmarillion)
📸 𝐄𝐒𝐓𝐏 - 𝐓𝐡𝐞 𝐄𝐧𝐭𝐫𝐞𝐩𝐫𝐞𝐧𝐞𝐮𝐫
මොවුන් ඉතාමත් ක්‍රියාශීලී පුද්ගලයන්. හොඳ ඉදිරිපත්වීමේ හැකියාවක් සහිතයි. නිතර වෙනස්වන සමාජයක විසීමට කැමැත්ත දක්වනවා. රීතීන්, සම්ප්‍රදාය බිඳ හෙලීමට බොහෝ විට ප්‍රියතාවයක් දක්වනවා. තමන්ගේ අදහස් ලොවට කියාපෑමට මෙන්ම සාම්ප්‍රදායික අදහස් ප්‍රශ්න කිරීමට ද පැකිලෙන්නේ නෑ. මොවුන් ලෝකය දකින්නේ වේදිකාවක් ලෙසටයි. සෘජුව කතා කිරීමට පෙළඹෙනවා. සමාජය සමග නිතර ගැටීමට ආසාවක් දක්වනවා.
නමුත් මොවුන් සමහර විටෙක තරමක් අසංවේදී හා නොඉවසිලිමත් පුද්ගලයන් ලෙස පෙනෙන්න පුලුවන්. එයට හේතුව ඔවුන් සිතට නැගෙන දේ සෘජුවම පැවසීම හා ප්‍රශ්න කිරීමයි. ඒ වගේමයි පාසල වැනි අතිශය සංවිධානාත්මක පරිසරයන්හි රැඳී සිටීමට කැමැත්තක් දක්වන්නේ නෑ. සමහර සියුම් කරුණු කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කරමින් දිගින් දිගටම ඒවා ප්‍රශ්න කිරීම නිසා මොවුන්ට සමස්ත දර්ශනය නොපෙනෙන්න පුලුවන්. නමුත් මොවුන් සියල්ලන් පිනවන විහිළු කතා කීම වැනි ක්‍රියා සඳහා හොඳට දක්ෂයි.
ප්‍රසිද්ධ පුද්ගලයන් - Ernest Hemingway, Madonna, Samuel L. Jackson
ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත - Tyler Durden (Fight Club), Gimli (The Lord of The Rings), James Potter (Harry Potter)
🌟 𝐄𝐒𝐅𝐏 - 𝐓𝐡𝐞 𝐄𝐧𝐭𝐞𝐫𝐭𝐚𝐢𝐧𝐞𝐫
ස්වභාවයෙන්ම ප්‍රාසාංගික කලාවන්ට ලැදියි. සරල දෙයකින් පවා සතුටු වීමට කැමති පුද්ගලයන්. විලාසිතාවන්ට කැමතියි වගේම අවධානය දිනාගන්නත් දක්ෂයි. ඒ වගේමයි කෙනෙක්ට උදවුවක් අවශ්‍යයි නම්, කෙනෙක්ව දිරිමත් කිරීමට අවශ්‍යයි නම්, එම කාර්යය නිම වන තුරු මොවුන් විවේකයක් ගන්නේ නෑ. එලව එලව උදවු කරන ජාතියෙ පුද්ගලයන් තමයි මේ අය. මොවුන් වාසනාව කියන සංකල්පය දැඩිව විශ්වාස කරනවා. ඉතා කලාකාමීයි. අවට පරිසරය, අන් අය පිළිබඳව හොඳ විමසිල්ලෙන් පසුවනවා.
මේ අයගේ දැඩි සංවේදීභාවය නිසා මොවුන් ශෝකජනක අවස්ථාවලදී ඉතාමත්ම හැඟීම්බර විදියට ප්‍රතිචාර දක්වන්න පෙළඹෙනවා. ඒ වගේමයි දුර දිග බලා සැලසුම් කරනවාට වඩා වර්තමානය සතුටින් ගෙවීමට කැමති අය. නමුත් මොවුන් සමාජයට අත්‍යවශ්‍ය ඉතා අහිංසකම කොට්ඨාසයක්.
ප්‍රසිද්ධ පුද්ගලයන් - Marilyn Monroe, Leonardo DiCaprio, Katy Perry
ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත - God Apollo (Greek Mythology), Pippin (The Lord of The Rings), Ron Weasley (Harry Potter)
- මෙම සියලු පෞර්ෂත්ව කාණ්ඩවල අඳුරු පැතිකඩකුත් තිබෙනවා. හොඳම උදාහරණය තමයි, විසිවන ශතවර්ෂයේ කෲර ආඥාදායකයෙකු වූ හිට්ලර්. ඔහු සාමකාමී INFJ කාණ්ඩයට අයත් වූවත් පසු කාලීනව ඔහුගේ සාමකාමී ලක්ෂණ ඉක්මවා අඳුරු පැතිකඩ ප්‍රමුඛ වී තිබෙනවා.
- MBTI ප්‍රශ්නාවලිය මගින් පෞර්ෂත්වය සෙවීමේ දී, ප්‍රශ්නාවලියට පිළිතුරු දෙන්නාගේ පිළිතුරුවල අවංකභාවය හා නිරවද්‍යතාවය ද අවසන් නිගමනය කෙරෙහි දැඩිව බලපානවා.
- මෙම ලිපිය සඳහා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ හා ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිතවල පෞර්ෂත්ව කාණ්ඩය දක්වා ඇත්තේ අන්තර්ජාලය ඇසුරින් ලබාගත් තොරතුරු තවදුරටත් අධ්‍යයනය කිරීමෙන්. බොහෝ වෙබ් අඩවිවල සමහර චරිත ප්‍රශ්නාර්ථකාරී ලෙස විවිධ කාණ්ඩවලට ගොනු කර තිබෙනවා. කෙසේ නමුත් ප්‍රබන්ධ චරිතවල පෞර්ෂත්වය විග්‍රහ කිරීම රසිකයාගේ දෘෂ්ටි කෝණය මත ද දැඩිව රඳාපවතිනවා.
- Temperaments වල නාමයන් සම්බන්ධයෙන් විවිධ මත තිබෙනවා. මෙම ලිපියේ එක් එක් කාණ්ඩයේ නමට ඉදිරියෙන් සඳහන් කර ඇත්තේ බහුලවම භාවිතාවන නාමකරණය පමණයි.
- සමහරවිට කෙනෙක් කාණ්ඩ දෙකක ලක්ෂණ පෙන්වීමට පුලුවන්. අන්තර්ජාලයේ ප්‍රසිද්ධ ප්‍රශ්නාවලි වල නම්, ඔබ එක් එක් චිත්ත ස්වභාවය කෙරෙහි කොපමණ අදාළ වනවාද කියා ප්‍රතිශත වශයෙන් දක්වනවා.
පුද්ගලයෙකුගේ පෞර්ෂත්වය නිශ්චිත ලෙස මෙලෙසයි කියා කාණ්ඩ කරන්නට බෑ. නමුත් MBTI ලෝකයේ ජනප්‍රිය වී ඇත්තේ බොහෝ පුද්ගලයන් මෙම කාණ්ඩ 16න් එකක ලක්ෂණ පැහැදිලිව පෙන්නුම් කිරීම නිසායි. එම නිසා ඔබට මෙය විනෝදයට මෙන්ම ඔබ වැනි අදහස් සහිත තවත් අය සොයාගැනීනටද භාවිතා කරන්න පුලුවන් හොඳ ක්‍රමයක්.
ඒ වගේමයි විවිධ පෞර්ෂත්ව පිළිබඳ කියවීම, දැනසිටීම හා අවබෝධ කරගැනීම වැදගත්. මොකද සමාජයේ සිටින සියල්ලන් එක වගේ නෙමෙයි. එක් එක් පුද්ගලයාගේ පෞර්ෂත්වය වෙනස්. ඒ දේවල් අවබෝධ කරගනිමින් කිසිවෙකුට පීඩාවක් නොවන අයුරින් ජීවත්වීමට පෞර්ෂත්ව පිළිබඳව කියවීම වැදගත්.
- Sandali Mendis -
අන්තර්ජාලය ඇසුරිණි
ඉතින් ඔබ දැනටමත් ඔබ අයත් වන පෞර්ෂත්ව කාණ්ඩය සොයාගෙන අවසන් නම්, ඔබේ අකමැත්තක් නැත්නම් එය කමෙන්ට් මගින් සඳහන් කරන ලෙසට ආරාධනාවක් කරනවා. ඔබේ පෞර්ෂත්වයට අදාළ අත්දැකීම් බෙදාගැනීම තවත් කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙන්න පුලුවන්.
ඔබේ කාණ්ඩය සොයාගැනීම අපහසුයි නම් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වෙබඩවිවල ප්‍රශ්නාවලි (quiz) භාවිතා කරන්න පුලුවන්. 16 Personalities quiz හෝ MBTI quiz යන යෙදුම් සර්ච් කර ප්‍රශ්නාවලි සොයාගැනීමට පුලුවන්. විශේෂයෙන්ම 16 Personalities හා IDR Labs වැනි වෙබ් අඩවිවල ඇති free quiz මගින් ඔබ අයත් කාණ්ඩය සොයාගැනීම පහසුයි.