ආදරයේ මායාව සහ සැබෑව 1 කොටස

image_title_here
ආදරයේ මායාව සහ සැබෑව 1 කොටස

ආදරය කරනවා කිව්වම ඔබේ  ඔළුවට එන්නෙ මොනවාද....? නැතිනම් ආදරය කරන එක විස්තර කරන්න කිව්වොත් කොහොමද නිර්වචන කරන්නේ........? 

ඔබ කරන හැම නිර්වචනයකින් ම ගම්‍ය වන්නේ මෙන්න මේ දේ නේද......? 

කෙල්ලෙක්  කොල්ලෙකුට ආදරය කරන එකක් සහ අනෙක් පැත්ත... (වයසකයි කියලා හිතන අය තරහ වෙන්න එපා ) නැතිනම් සතා සිවුපාවාට .....සමාජයට ....රටට.... ලෝකයට හෝ මොනයම් බාහිර දේකට ආදරේ කිරීමක් නේද........? අර්ථවත් වෙන්නේ.... 

ප්‍රශ්නයක්.................

ඔයා ආදරේ කරනවද .........? 

මේ ප්‍රශ්නයට ඔබේම පිළිතුර කුමක් ද කියා බලන්න. 

සමහර අය කියයි.... ඔව් කියලා .....කොහොමද කියලා ඇහුවොත් මට කෙනෙක් ඉන්නවා..... මගෙ දරුවො ටික හෝ මොන යම් චරිත ටිකක් විස්තර කරාවි. 

සමහර අය කියාවි නෑ..... අනේ මට ආදරය කරන්න කෙනෙක් නෑ ......හිටපු කෙනා දාලා ගියා.... තාම කෙනෙක් මට හමු වුණේ නෑ.... දුක් අඳෝනා ගොඩක් අහගන්න පුළුවන්. 

මේ කතා සේරෝගේම තේරුම් යන දෙයක් තියනවා. 

ඔබ ආදරය කියන දේ තේරුම් අරන් ඉන්නේ වැරදියට.... ඇත්තටම අපිට ආදරය කියන්නේ මොකක්ද.... ඒක කරන්නේ  කොහොමද කියලා කිසි කෙනෙක් කියා දී නැහැ. ඉතින් දන්න විදිහට කරන්නට ගොස්  හත්පොලේ ගාගන්නවා.මොකද ඒ ටික දැනගත්තේ සිංදුවලින්..... කතා වලින්.... චිත්‍රපට වලින්.... සහ අන් අය ඒක කරන හැටි බලාගෙන...... ඉතින් ආදරේ තමයි මම නම් හිතන විදියට මනුෂ්‍යයා වැරදියට ම  වටහා ගත් දෙය.... 

ඇත්තටම ආදරේ කියන්නේ මොකද්ද .......? 

මගේ නිර්වචනය නම්.........

"ඔබට ඔබවම දැනීම

ඒක විස්තර කරන්න අමාරු සංවේදනයක් .......හරියට හැමදේකින්ම පිරිලා වගේ දැනෙනවා.... හදවතේ අමුතුම ස්පන්දනයක්.... සිරුර පුරාම ඇතුළතින් සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා..... අවට ලෝකය හරිම ලස්සනයි .....පැහැදිලියි.....පාට පාට වෛවාරණ ලෝකයක් විදිහට පේන්න පුළුවන්..... අනිත් අය ගැන දැනෙන්නේ පුදුමාකාර සෙනෙහසක් .....කිසිම  දුකක් නෑ..... 

මේ වගේ තව ලියන්න අවශ්‍ය නෑ මං හිතන්නේ... 

ඔන්න ඔය වගේ ටිකක් දැනෙනවා නම් ඒවා ටිකක් ආදරේ හැඟීම් වෙන්න පුළුවන්.....ඔබට ඒවා දැනෙන්නේ කොයිවෙලේද .......? ඔබේ හිත ගිය කෙනෙක් ගැන හිතනකොට .....හමුවෙනකොට..... කතා කරනකොට..... මවා ගන්නකොට නේද .... 

අන්න ඔබ වරද්ද ගන්න පළමු තැන.....අර කියපු දැනීම් ටික ඔබට දැනුණේ එළියෙ කෙනෙක් නිසා නම් ඔබ ඉන්නේ වැරදි පාරේ....... මම එය ගැරන්ට් කරලා කියනවා ඔබට ලොකු තැනක් වැරදිලා..... 

වරදින්න හේතුව..... බාහිර වස්තුන් හැමවිටම වෙනස් වෙනවා.ඒක ලෝක ස්භාවය......එක් දාර්ශනිකයෙක් පවසා තිබෙනවා මේ ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස්වීම කියලා. 

ඉතින් ඔබට අර දැනෙන ටික ආවේ එළියෙ තිබෙන වස්තුවකින් නම් ඒ වෙනස් වීම් වලට භාජනය වීම කොයියම් මොහොතක අනිවාර්යයෙන්ම සිදු වෙනවා. එය ඔබ අකමැති විදිහට... වෙනස්වීම්වලට ලක් වන මොහොතේ ඔබ දුකට.... වේදනාවට ....ඉච්ඡාභංගත්වයට.... කාංසාවට.. ආතතියට හෝ විශාදයට පත්වෙනවා 

ඇයි ඒක එහෙම වුණේ.....? 

ඔබ කැමති නෑනේ සිදුවන දේ පිළිගන්නට..... ඔබ කැමති නෑ යථාර්ථය පිළිගන්නට..... මොකද ඔබට හිතුනා මේ ටික හැමදාම මේ විදිහටම දැනෙන්නට නම් එයාව මගේ කරගන්න ඕන කියලා..... ඉතින් එහෙම කරගත්තාම ඔබ සතුටු වුණා. නමුත් කාලයත් එක්කම කලින් තිබූ සතුට ක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගන්න ඇති. කිසිම වරදක් නැහැ ...නමුත් අර කලින් තිබූ නැවුම් පිරුණු ගතිය... ඇඟ පුරා සමනල්ලු දඟලන ගතිය..... ටිකෙන් ටික අඩු උනා වුණා. දැන් ඒක එන්නෙම නෑ. සමහර අය ඒක නැවත ගන්නෙ හොරෙන්  වෙනත් වස්තුවකට ලං වෙලා.... ඒකත් කාලය යද්දි බෝරින් වෙනවා. හොඳට මතක තියාගන්න.... ඔබ ඔය කරන ආදරේ හතුරා කවුරු කියලද හිතන්නේ......ඒක නැතිකර දමන්නේ කවුද......? 

වෙන කවුරුත් නෙමෙයි නියම හතුරා තමයි 

............................................................කාලය 

ඇත්තටම කාලය විසින් ආදරය මරා දමනවා. කාලය විසින් ආදරය දූෂණය කරනවා. කාලය විසින් ආදරය වේලිච්ච දර කැබැල්ලක් බවට පත් කරනවා. මම නම් දකින්නේ ආදරේ හතුරා කාලය කියායි... 

එහෙනම් අපි මේකෙන්  ගැලවෙන්නේ කොහොමද .........? 

සතුරාව විනාශ කරලා දැම්මා ම ඉවරයි ....එහෙම කරන්න පුළුවන් විදිහක් තියෙනවා....... 

ඒ තමයි මුණිවරුන්ගේ මානයට පිවිසීම.......

අතීතය <_ වර්තමානය _> අනාගතය 

කාලය කියන්නේ ඔන්න ඔය මානයන් 3 විදිහට අපට සරලව තේරුම් ගන්න පුළුවන්. ඔය මානයන් තුනෙන් දෙකකම  ඉන්නවා ආදරේ විනාශ කරන යක්ශයා....ඒ තමයි අතීතය සහ අනාගතය 

අතීතයේ ඉඳන් ඔබට ඇත්තටම ආදරය කරන්නට පුළුවන් ද....? 

අපේ අය අතීතයේ මතක අතරේ සැරිසරන කෘතිම ආදරයක් මවා ගන්නවා.ඒක තනිකරම විකෘතියක්. සත්‍ය එකත් එක්ක  බැලුවාම ඒක විකාරයක්.... ඇත්තටම අපි දන්නේ නෑ..... ඒ නිසා විකෘති එක තුල පට්ටම සජීවී විදිහට මව මවා විඳිනවා. 

ඇත්ත එක දන්න කෙනාට අර අතීතය මතක් කරමින් ආදරේ මවා ගන්න එක කොයි විදියට පෙනේවි ද ......? 

ගොනෙක් තණකොළ කාලා ඉවර වෙලා පැත්තකට වෙලා ඉඳගෙන ඒ කාපු ටික වමාරා නැවත කනවා ...ආපහු ගිලිනවා .....ආපහු වමාරනවා....ආපහු ගිලිනවා  අන්න ඒ වගෙයි පෙනෙන්නේ........ 

අනාගතයේ ආදරය ලැබෙයි කියලා බලාගෙන ඉන්න අය ඇත්තටම පව්.... ඒ අය අර එළුවාගේ මොකක්ද එක වැටෙනකම් පස්සෙන් යනවා වගේ වැඩක්. පේන විදියට දැන් වැටෙයි.... දැන් වැටෙයි.... වගේ උනාට ඒක කවදාවත් වැටෙන්නේ නෑ..... 

ඇත්තටම ආදරය මරා දමන්නේ අතීතයේ සහ අනාගතය 

උපදේශන වලදී සමහර අය මට කියනවා..... මගේ හස්බන්ඩ්ට  දැන් මම ආදරේ නෑ ....ඉස්සර නම් පිස්සුවෙන් වගේ ආදරේ කළා..... එයා ඒක කැඩුව.... දැන් ළමයි හින්දා පැත්තකින් තියාගෙන ඉන්නවා. වෙන කරන්න දෙයක් නැති නිසා.... 

ඕකට කියන්නේ සැබෑ ආදරය නොවේ. මමත්වයේ  ආදරය.... මට ඕන විදියට ඉන්න ඕන..... වෙන ගෑනු දිහා බලන්න බෑ.... ඒ අයට ආදරය කරන්න බෑ.... මටම විතරයි .....කොන්දේසී ලිස්ට් එක ලිව්වොත් පොතක් මදි වේවි අමුනන්නට...ඒ නිසා හොඳම දේ ඒ ටික බන්දේසියක ම තියලා තියන එක... 

මමත්වයේ ආදරේදී කියවෙන  සාරාංශය තමයි ....

"මට ඔයාගේ ආදරය ඕන"

ඒ කතාවේ තේරුම නම් ඔබ ලොකු හිස් බවකින් පෙලෙනවා. එය පුරවා ගන්නට ඔබ බාහිර කෙනෙක් උපයෝගී කරගන්නවා.... ඕක ඇත්තටම ආදරය නෙවෙයි.... කොහෙත්ම නෙමෙයි....ඒ හිස් බව පුරවන කම්   දෙවියෙක් වගේ ඉන්නවා..... පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනොත් යක්ෂයෝ පරාදයි..... 

ඇත්තටම ඒ ආදරය මම නම් හඳුන්වන්නේ හිඟන ආදරය කියායි......ඒක හරිම දුප්පත් ආදරයක්.... මට ආදරය කරන්න..... මාව බලාගන්න..... මාව ආරක්ෂා කරන්න... ඒ මානසිකත්වය තියෙනවා නම් ඔබටත් ....ඔබ ආදරවන්තයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඊට වැඩිය හොඳ කෙනෙක් ඉන්නවා. එයාව ගන්න  ඒකට නම්....  පරිණත සිකුරුටි නිලධාරියෙක්.......එයා රාජකාරි අකුරටම කරාවි කිසිම අඩුවක් නැතිව.පඩියක් ගෙවන්න විතරයි තියෙන්නේ....... 

සැබැ ආදරවන්තයින් ගෙන් කොන්දේසි.... බන්දේසි... බලාපොරොත්තු වෙන්න එපා. මොකද සැබෑ ආදරය දී බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නේ අනාගතයක් නැහැ. අතීතයක් නැහැ. ඒක මේ දැන් සිද්ධ වෙමින් තිබෙනවා. එච්චරයි..... පොඩ්ඩකට හරි පස්ස හැරිලා බලන්න ගියොත් දැන් කොටස අහිමි වෙනවා.....ආදරය මැරෙනවා.... ඉස්සරහ බැලුවත් දැන් මෙතන කොටස මග හැරෙන්න පුළුවන්...එත්නත් ආදරය ඉවරවෙන තැනක්..... 

සැබෑම .....වෙනස් නොවන....... අකාලික ........සත්‍යය ආදරය පවතින්නේ එළියේ හෝ වෙන කොහේවත් නොවේ. ඔබේ හදවතේ ගැඹුරුතම පතුලේ..... ඒක ක්‍රියාකාරී වෙන්නේ මේ දැන් මේ මොහොතේ..... ඒකට ලස්සන..... අවංක... නිහතමානී.... ගුණ ගරුක .....පොහොසත්... ධර්මිෂ්ඨ අය ඕන නෑ. ඒක දැනටමත් ඔබ තුළ නිදාගෙන ඉන්නවා... 

ඒක නින්දට ගියේ ඔබ එය එළියෙන් සොයන්නට පුරුදු වූ නිසා. 

හොඳින් බලන්න... ඔබට ජීවිතයේ උද්යෝගය අඩු නම්... කම්මැලි වගේ නම්.... අරමුණක් නැති නම්....  දවස පුරා දැනෙන සජීවී ශක්තිමත් භාවය අඩුයි නම්.... ජීවිතේ කිසිම අර්ථවත් බවක් නොදැනේ නම්.... ඔබ ආදරයේ  හිගතාවයකින් පෙළෙන බව මතක තියාගන්න. වෙන රෝගයක් නම් නොවේ .....නමුත් බෙහෙත් ගන්නෙ වෙනත් රෝග වලට..... 

සැබෑ ආදරේ පවතින්නේ ඔබේ ම හදවත තුළයි.... එය අවදි කරගන්න.... 

එය අවදි කරගන්න.... හැටි මුල... මැද... අග... සියල්ල පෙන්වා දෙන්නම්.... ඉරවල්  තුනක් පායන්න කලින් ඊලඟ එක ඒවි...

ආදරවන්තයෝ කියලා හිතාගෙන ඉන්න අයට පේන්න මේක ශෙයා කරල දාන්න................


- නුවන් රාජපක්ෂ -

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

Post a Comment

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.