හුස්ම ටික නතර කරගන්න එක නෙවෙයි "ආදරේ" කියන්නේ... | Before you give up, watch this.

image_title_here

 අම්මේ,

මේ ලියුම ඔයා දකිනකොට මම හුස්ම ගන්න දුරකට වඩා ගොඩක් ඈතට ගිහින් ඉඳීවි. මට සමාවෙන්න අම්මේ... ඔයා මාව මේ ලෝකෙට ගෙනාවේ රජෙක් කරවන්න කියලා මම දන්නවා. ඒත් අන්තිමට මම ඔයාට ඉතුරු කරලා යන්නේ කඳුලක් විතරයි.

අම්මේ, මම මේ තීරණය ගත්තේ ජීවිතේට බය වෙලා නෙවෙයි. ජීවත් වෙන්න ආස නැති නිසාත් නෙවෙයි. ඒත්... "ජීවිතේ" කියලා මම මගේ මුළු ආත්මයෙන්ම විශ්වාස කරපු, මගේ මුළු ලෝකෙම කියලා මම හිතාගෙන හිටපු ඒ හීනය මගේ ඇස් ඉස්සරහම බොඳ වෙලා යද්දි, මට තවත් මේ පොළොවේ පය ගහලා ඉන්න හයියක් නෑ.

ඔයාගේ ආදරේ අඩුවක් නෙවෙයි අම්මේ. ඔයා මට ලෝකයක් තරම් ආදරේ දුන්නා. ඒත් මගේ හිතේ මැද ලොකු හිස්තැනක් හැදුණා අම්මේ... මම හිතුවා ඒ හිස්තැන පිරෙයි කියලා. මම මගේ හුස්ම ටික පවා ඒ විශ්වාසය වෙනුවෙන් පූජා කළා. ඒත් අන්තිමට මට තේරුණා මම මාලිගා හැදුවේ අහසේ කියලා. මම දේවත්වයෙන් අදහපු ඒ 'බලාපොරොත්තුව' මාව අතරමං කරලා යද්දී, මම වින්ද වේදනාව ඔයාට තේරුම් කරන්න මට වචන නෑ.

මට කාත් එක්කවත් තරහක් නෑ. හැමෝම හොඳයි. නරක මම විතරයි. මොකද මම ඕනවට වඩා විශ්වාස කළා. ඕනවට වඩා බැඳුණා. ඒ බැඳීම කැඩෙනකොට ඇතිවෙන සද්දේ ලෝකෙට ඇහුණේ නැති වුණාට, ඒකෙන් මගේ හදවත කුඩු පට්ටම් වුණා අම්මේ. දැන් ඒ කෑලි ආයෙ අලවන්න බෑ.

මාව හොයන්න එපා. මගේ මතක එක්ක ජීවත් වෙන්න එපා. පුළුවන් නම් මට මේ ගමන යන්න ඉඩ දෙන්න. මොකද මේ යන ගමන, මෙහේ ඉඳන් දරාගෙන ඉන්න ගින්දරට වඩා මට සැනසීමක් වෙයි.

බුදු සරණයි අම්මේ! මම, ඔයාගේ පුතා.

 (මෙය සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මානය වුවාකි.)


හිස් අතින් අල්ලන් යන ගමනක් මිස, හුස්ම ටික නතර කරගන්න එක නෙවෙයි "ආදරේ" කියන්නේ...

"අනේ අයියේ... අර අහවල් ගමේ කොල්ලෙක් බෙල්ල වැල දාගෙනලු, කෙල්ලෙක් නිසා..." මේ අද සමාජයේ බහුලව අහන්න දකින්න ලැබෙන සිදුවීම්.ඉතින් තවත් අහිංසක ජිවිතය නැති වෙන්න කලින් මම හිතුව මේ ගැන කතා කරන්න ඔන කියල.

මේ වගේ කතාවක් ඇහෙන වාරයක් ගානේ පපුව හෝස් ගාලා පත්තු වෙනවා. අවුරුදු විස්සක් විසි පහක් අම්මෙක් තාත්තෙක් හදපු ජීවිතයක්, තවමත් ජීවිතේ හැටි හරියටම දැකලවත් නැති කෙල්ලෙක් හින්දා, තත්පර කීපයකින් නැති කරගන්න තරම් අද තරුණ හිත් බොලද වෙලා.

මචං, උඹ හිතාගෙන ඉන්නේ "ආදරේ" කියන්නේ සොබෙනෙට බයික් එකේ යන එකටද? නැත්නම් රෑ එලිවෙනකන් ෆෝන් එකේ එල්ලිලා ඉන්න එකටද? එහෙමත් නැත්නම් එයා නැතුව ජීවත් වෙන්න බෑ කියලා මැරෙන එකටද?

නෑ... නෑ... නියම ආදරේ පටන් ගන්නේ ඒතනින් නෙවෙයි.

මේ කතාව අහපන්කො. දවසක් යාලුවෙක් මනුස්සයෙක්ට කියනවා, 

"උඹේ වයිෆ් හරි ලකී බං උඹ වගේ සල්ලි තියෙන මිනිහෙක් ලැබුණ එකට" කියලා. 

ඒ මනුස්සයා හිනාවෙලා නිකන් හිටියා. මොකද අර යාලුවා දැක්කේ මිනිහා අද ඉන්න තැන විතරයි. එයා දැක්කේ මිනිහා අද යන කාර් එකයි, අඳින ෂර්ට් එක මේ වගේ දේවල් විතරයි.

ඒත් ඒ මනුස්සයා දන්නවා, මීට අවුරුදු 10ට විතර කලින් පර්ස් එකේ රුපියල් සීයක් නැති දවසේ, බස් එකේ දාඩිය ගඳ මැද්දේ යද්දි තමන්ගේ ළඟින් හිටපු කෙල්ල කවුද කියලා. එදා රෙස්ටොරන්ට් එකකට යන්න සල්ලි නැති වෙද්දි, 

"අනේ මට බඩගිනි නෑ අයියේ... අපි ප්ලේන් ටී එකක් බොමු" 

කියලා ඒ මනුස්සයාගේ හිස් සාක්කුවට ගැම්මක් වුණේ අර "ලකී" කියපු වයිෆ්ම තමයි.

මුළු ලෝකෙම ඒ මනුස්සයව අතාරිද්දි, ගෙදරින් බනිද්දි, "ඔයාට පුළුවන්... අපි දවසක ගොඩ යමු" කියලා ඔලුව අතගාපු කෙල්ල නිසා තමයි, අද ඒ මනුස්සයා ජීවත් වෙන්නේ. අන්න ඒකට තමයි බං ආදරේ කියන්නේ.

අද කාලේ ගොඩක් කොල්ලෝ රැවටෙන්නේ, තමන්ගේ බයික් එකට, තමන්ගේ ලස්සනට හිනාවෙන මූණු වලට. ඒත් මතක තියාගනින්, උඹේ සාක්කුව හිස් වෙන දවසට, උඹ ලෙඩ වෙන දවසට ඔය හිනාවෙන මූණු ළඟ නැති වෙන්න පුළුවන්.

අර කොල්ලා මැරුණේ, එයා හිතපු නිසා එයාගේ ලෝකේ ඉවරයි කියලා. ඒත් ඇත්තම කතාව මේකයි. උඹව දාලා ගිය කෙනා නෙවෙයි උඹේ ඇත්තම ආදරේ. උඹ "බිංදුවටම" වැටුණහම, උඹව "උඩටම" උස්සලා තියන්න හයියක් වෙන කෙනා තමයි ඇත්තම ආදරේ.

ඒ නිසා, ජීවිතේ නැති කරගන්න එපා. උඹ අද දුකෙන් ඇති, තනිවෙලා ඇති. ඒත් දවසක උඹ හරි තැනට ආවම, උඹේ සාක්කුව දිහා බලලා නෙවෙයි, උඹේ මහන්සිය දිහා බලලා ආදරේ කරන කෙනෙක් උඹට මුණ ගැහෙයි.

අන්න එදාට උඹට හිතෙයි, 

"අම්මටසිරි... එදා මං මැරුණනම්, මේ වගේ ජීවිතයක් මට මිස් වෙනවනේ..." 

කියලා.

කෙල්ලෙක් දාලා ගියාම මැරෙන්න හිතන කොල්ලන්ටයි, කොල්ලෙක් සල්ලි නෑ කිව්වම දාලා යන කෙල්ලන්ටයි දෙගොල්ලොන්ටම අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි.

"රජෙක් වුණාම ළඟ ඉන්න රැජිනියෝ ඕන තරම් හොයාගන්න පුළුවන්... ඒත් කිරුළක් නෙවෙයි පාවහන් යුවලක්වත් නැති කාලේ, කටු පඳුරු මැද්දෙන් රජාගේ අත අල්ලන් ආපු ගැහැණිය තමයි සැබෑ රැජින."

ඒ රැජින ලැබෙනකම් ජීවත් වෙයන්! මැරෙන්න එපා! 

Getting Info...

කර්තෘ

This is a big world. I'm exploring everything that is accessible to my five senses.

Post a Comment

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.