|
| සුදු වීමේ මායාව සහ එහි සැඟවුණු මරණය: ඔබ මුහුණේ තිබේන "ක්‍රිම් පාට" ඇත්තටම ලස්සනයි ද? |
(ශ්‍රී ලාංකීය කාන්තාවන් බිලිගන්නා "මැජික් ක්‍රීම්" ජාවාරම පිළිබඳ විද්‍යාත්මක හෙළිදරව්ව)
ශ්‍රී ලංකාවේ ඉරිදා පුවත්පතක මංගල යෝජනා තීරුවක් පෙරළා බැලුවහොත් ඔබට වැඩිපුරම දකින්නට ලැබෙන වචනය කුමක්ද? "පැහැපත්" (Fair) යන්නයි. පාසලේ සිට කාර්යාලය දක්වාත්, විවාහය දක්වාත් අපේ සමාජය විසින් "සුදු වීම" යනු ජයග්‍රහණයක් ලෙසත්, "දුඹුරු හෝ තලෙළු වීම" යනු අඩුපාඩුවක් ලෙසත් හංවඩු(කොන් කිිිිරිම) ගසා ඇත.
මේ සමාජය තුල පවතින පීඩනය නිසාම අද වන විට ෆේස්බුක්, ටික්ටොක් (TikTok) සහ ඉන්ස්ටග්‍රෑම් හරහා නම ගමක් නැති, ලේබලයක් නැති, දින 3න් හෝ 7න් සුදු කරන බව කියන "මැජික් ක්‍රීම්" විවිධ මර්කටින් උපක්‍රම යොදා ගනිමින් අලෙවි වෙමින් පවතී. විශේෂයෙන්ම ඩුබායි, පකිස්ථානය හෝ නැගෙනහිර ආසියානු රටවලින් ගෙන්වන බව කියන මෙම නිෂ්පාදන ඇත්තටම ඔබේ සමට කරන්නේ කුමක්ද?.
මෙය ඒ පිළිබඳව සිදු කළ ගැඹුරු විද්‍යාත්මක විමසුමකි.
සුදු වීමේ උමතුව (The Global Obsession)
ගෝලීය වෙළඳපොල ගත්තොත් 2017 වන විට ඩොලර් බිලියන 4.8ක් වූ මෙම කර්මාන්තය 2027 වන විට ඩොලර් බිලියන 8.9ක් වනු ඇතැයි ගණන් බලා ඇත (Source: Statista).
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව විවිධ රටවල කාන්තාවන් මෙම නිෂ්පාදන භාවිතා කරන ප්‍රතිශතය (Global Statistics)
නයිජීරියාව: 77%
ඉන්දියාව: 61%
ටෝගෝ: 59%
දකුණු අප්‍රිකාව: 35%
සෙනගාලය: 27%
චීනය: 40%
-
පිලිපීනය: සෑම කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් (1 in 2).
සෞදි අරාබිය: 43.3%
ඔබ දකින "ක්ෂණික සුද" (Instant Glow) යනු කුමක්ද?
වෛද්‍ය විද්‍යාවේදී සමේ වර්ණය තීරණය කරන්නේ "මෙලනින්" (Melanin) වර්ණකයයි. ශ්‍රී ලංකාව වැනි සමකයට ආසන්න රටක ජීවත් වන අපට ස්වභාවධර්මය විසින් වැඩි මෙලනින් ප්‍රමාණයක් ලබා දී ඇත්තේ තද හිරු එළියෙන් එන පිළිකා කාරක කිරණවලින් (UV Rays) අපව ආරක්ෂා කිරීමටයි.
නමුත් වෙළඳපොලේ ඇති අනාරක්ෂිත ක්‍රීම් වර්ග (Illegal Cosmetics) ක්‍රියාත්මක වන්නේ ඔබේ සමේ ස්වභාවික ආරක්ෂක පද්ධතියට එරෙහිවයි. ඔබ එම ක්‍රීම් එකක් අලේප කරල දින කිහිපයකින් දකින "දිලිසෙන සුදු පැහැය" හෝ "රෝස පාට" යනු සම සුදු වීමක් නෙවෙයි, සමේ ආරක්ෂිත ස්ථරය දිය වී යාමයි (Skin Atrophy).
මෙතෙන් දි මෙම ක්‍රීම්වල අඩංගු ප්‍රබල ස්ටෙරොයිඩ් (Corticosteroids) සහ විරංජන කාරක මගින් සමේ සෛල තදින් බැඳ තබා ගන්නා කොලජන් විනාශ කරයි.
ප්‍රථිඵල විදියට සම ඉටි කොළයක් මෙන් තුනී වේ. එවිට සමට යටින් ඇති ලේ නහර (Blood Vessels) පිටතට පෙනෙන්නට පටන් ගනී. බොහෝ දෙනා "රෝස පාට වුණා" යැයි රැවටෙන්නේ මෙලෙස පිටතට පෙනෙන තමන්ගේම ලේ නහර වලටයි. මෙය අලංකාරයක් නොව, සමේ මරණයයි.
ශ්‍රී ලංකාවේ පැතිර යන "වකුගඩු මාෆියාව" සහ රසදිය (Mercury)
ශ්‍රී ලංකාවේ දැනටමත් කෘෂි රසායනික නිසා වකුගඩු රෝග බහුලව පවතී. නමුත් නුදුරු අනාගතයේදී නාගරික කාන්තාවන් අතර වකුගඩු රෝගීන් බහුල වීමට ප්‍රධාන හේතුවක් ලෙස මෙම රූපලාවන්‍ය නිෂ්පාදන හඳුනාගෙන ඇත.
2025 ජනවාරි මස නිකුත් වූ Clinical Kidney Journal (Vol 18) වාර්තාවට අනුව, සම සුදු කරන ක්‍රීම් වර්ග භාවිතය සහ Nephrotic Syndrome නම් දරුණු වකුගඩු රෝගය අතර ඍජු සම්බන්ධයක් පවතී.
-
රසදිය ක්‍රියා කරන හැටි
රසදිය (Mercury) යනු ලාභදායී විරංජන කාරකයකි. එය මෙලනින් නිෂ්පාදනය අඩාල කරන ගමන් එය සම හරහා රුධිරයට උරා ගනී.
-
වකුගඩුවට වන හානිය
අපේ රුධිරය පිරිසිදු කරන වකුගඩුවේ ඇති සියුම් පෙරහන් (Glomerulus) රසදිය මගින් විනාශ කර දමයි.
-
රෝග ලක්ෂණ
ඔබ දිනපතා ක්‍රීම් ගාන අතරේ, පහත ලක්ෂණ මතු වේ නම් වහාම සැලකිලිමත් වන්න:
- මුත්‍රා සමඟ පෙන යාම (Foamy Urine - ප්‍රෝටීන් පිටවීම).
- උදෑසන අවදි වන විට ඇස් යට ඉදිමී තිබීම.
- පාදවල වළලුකර අසල ඉදිමීම.
- අසාමාන්‍ය වෙහෙස සහ මතකය අඩුවීම.
"නයිට් ක්‍රීම්" (Night Cream) සංස්කෘතිය සහ නිල් පැල්ලම් රෝගය
බොහෝ කාන්තාවන් රාත්‍රියට පමණක් ආලේප කරන ඝනකම ක්‍රීම් වර්ග (බොහෝ විට කහ හෝ රෝස පැහැති) වෙළඳපොලේ සුලබය. මේවායේ අධි සාන්ද්‍රණයෙන් යුත් හයිඩ්‍රොක්විනෝන් (Hydroquinone) අඩංගු විය හැක.
හයිඩ්‍රොක්විනෝන් දිගු කාලයක් පාලනයකින් තොරව භාවිතා කිරීමෙන් Exogenous Ochronosis නම් විකෘති තත්ත්වය ඇති වේ. මෙහිදී සිදුවන්නේ සම සුදු වීම කොහොම වෙතත් මුණේ තැනින් තැන තද නිල් හෝ කළු පැහැති, කිසිදා මැකිය නොහැකි පැල්ලම් ඇති වීමයි. පස්සේ මෙවා අයින් කරන්න ගිහින් මුහුණ සදාකාලිකව විරූපී විය හැක. පසුව මානසික පීඩනයන්ට පවා ඔවුන් ගොදුරු වේ.
ස්ටෙරොයිඩ් වලට ඇබ්බැහි වීම (Topical Steroid Addiction)
ඔබට මෙක වටහා ගන්න පුළුවන්, කොහොම ද? ක්‍රීම් එක ගාන දිනවලට මුහුණ වීදුරුවක් වගේ පැහැපත්ය බවක් පෙනෙන්නට පුලුවන්. හැබැයි ක්‍රීම් එක දින දෙකක් නැවත්වලා බලන්න. නවත්තපු ගමන් මුහුණේ කුරුලෑ (Pimples) පිරී, රතු වී, කැසීමට පටන් ගනී.
මෙය Steroid Rebound Effect නම් තත්ත්වයයි.
-
ක්‍රීම් එකේ ඇති ස්ටෙරොයිඩ් මගින් ඔබේ සමේ ප්‍රතිශක්තිය සහ ස්වභාවික බැක්ටීරියා පාලනය අඩපණ කර ඇත.
-
ඔබ ක්‍රීම් එක නැවැත්වූ විට, පාලනයක් නැති වූ බැක්ටීරියා එකවරම ක්‍රියාත්මක වී මුහුණ ආක්‍රමණය කරයි.
-
බියට පත්වන ඔබ නැවතත් අර ක්‍රීම් එකම ගාන්නට පෙළඹේ. මෙය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවාක් මෙන් ඔබේ සම එම විෂ රසායනිකයට ඇබ්බැහි වීමකි.
අම්මාගේ පාට වෙනුවෙන් දරුවාගේ අනාගතය බිලිදෙනවාද?
|
| (මවගේ සමට උරා ගන්නා විෂ > රුධිරයට > වැදෑමහ හරහා > පෙකණි වැලෙන් > දරුවාට) |
ආදරණීය අම්මේ, ඔබ ගර්භනී කාලයේදී විටමින් බොමින්, පෝෂ්‍යදායී ආහාර ගනිමින් දරුවා රැකගන්නට කොතරම් වෙහෙසෙනවාද? නමුත් ඔබ රාත්‍රියට මුහුණේ ආලේප කරන ඒ 'මැජික් ක්‍රීම්' එකේ ඇති රසදිය (Mercury), ඔබේ රුධිරය හරහා ගොස් දරුවාගේ සියුම් මොළයේ සෛල විනාශ කරන බව ඔබ දන්නවාද?
වැදෑමහ (Placenta) හරහා විෂ ගමන් කිරීම
බොහෝ මව්වරුන් සිතන්නේ ක්‍රීම් එක ගාන්නේ මූණේ හින්දා ඒක බඩේ ඉන්න බබාට යන්නේ නෑ කියලයි. ඒක ලොකු මිත්‍යාවක්. සමේ ගාන රසදිය (Mercury) සහ ස්ටෙරොයිඩ් ඉතා ඉක්මනින් රුධිරයට උරා ගනී. මවගේ රුධිරය හරහා මේවා වැදෑමහ (Placenta) හරහා ගමන් කර, නූපන් දරුවාගේ ශරීරයට ඇතුළු වේ.
නූපන් දරුවාට සිදුවන හානි (Fetal Risks)
විශේෂයෙන්ම රසදිය (Mercury) දරුවාගේ මොළයට කෙලින්ම පහර දෙයි. මොළයේ වර්ධනය අඩාල වීම: දරුවා උපත ලබන විටම මන්දබුද්ධික වීම හෝ ස්නායු ආබාධ සහිතව උපත ලැබිය හැක. අඩු උපත් බර (Low Birth Weight): ස්ටෙරොයිඩ් භාවිතය නිසා දරුවා නියමිත බරට වඩා අඩු බරකින් උපත ලැබීමේ අවදානම වැඩිය.
මළ දරු උපත් (Stillbirths): අධික සාන්ද්‍රණයකින් යුත් රසදිය ශරීරගත වීම ගබ්සා වීම් සහ මළ දරු උපත් වලට ප්‍රධාන හේතුවක් වී ඇත.
මව්කිරි හරහා දරුවාට විෂ ගමන් කිරිම (Breastfeeding Risks)
දරුවා ඉපදුණාට පසුව වුවද, මව දිගටම මෙම ක්‍රීම් වර්ග භාවිතා කරන්නේ නම්: රසදිය මව්කිරි හරහා දරුවාට ගමන් කරයි. මව ක්‍රීම් ගා දරුවා සිප ගන්නා විට හෝ දරුවාගේ සම මවගේ මුහුණේ ගැටෙන විට (Skin-to-skin contact) දරුවාගේ ළාබාල සම හරහා මෙම විස ඇතුළු වේ.
දින කිහිපයකින් ලබන ඒ කෘත්‍රිම සුද වෙනුවෙන් ගෙවන වන්දිය, දරුවාට ජීවිත කාලයම විඳවන්නට සිදුවන ස්නායු ආබාධයක් හෝ මන්දබුද්ධිකභාවයක් විය හැකිය. දරුවාට අවශ්‍ය ඔබේ ආදරය මිස, ඔබේ සමේ පාට නොවේ. ගැබිනි සමයේදී සහ කිරි දෙන සමයේදී වෛද්‍ය උපදෙස් නොමැති කිසිදු ආලේපනයක් භාවිතා නොකරන්න.
නීතිය සහ ඔබ දැනුවත් විය යුතු දේ
ශ්‍රී ලංකාවේ ඕනෑම රූපලාවන්‍ය නිෂ්පාදනයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි විය යුතුය. ඔබ මිලදී ගන්නා ක්‍රීම් එකේ:
-
නිෂ්පාදිත රට, නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත් වන දිනය තිබේද?
-
NMRA ලියාපදිංචි අංකය සඳහන් කර තිබේද?
-
පැහැදිලි අමුද්‍රව්‍ය ලැයිස්තුවක් (Ingredients List) තිබේද?
බොහෝ "ඔන්ලයින්" ක්‍රීම් වර්ගවල මේ කිසිවක් නැත. ඒවා කුඩා ප්ලාස්ටික් ඩප්පි වල අසුරා, "රහස් වට්ටෝරුවක්" ලෙස විකුණයි. මතක තබා ගන්න, අමුද්‍රව්‍ය සඟවන්නේ එහි වස විස ඇති නිසාය.
අවසාන වශයෙන්...
|
| අපේ රටෙි කන්තාවකගේ සැබැ ස්වභාවික වර්ණය දුඹුරු වේ |
නමුත් ඔබ තවමත් පැහැපත් වීමට අවශ්‍ය නම්, එය කළ යුත්තේ වකුගඩු නරක් කරගෙන හෝ පිළිකා හදාගෙන නොවේ. පිළිගත් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ (Dermatologist) උපදෙස් මත, NMRA අනුමත, ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන පමණක් භාවිතා කරන්න.
දින 7න් ලැබෙන සුදට වඩා, ජීවිත කාලයම පවතින නිරෝගී වකුගඩු දෙක සහ නිරෝගී සම වටිනා බව සිහි තබා ගන්න.
මෙම ලිපිය සකස් කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO - මේ සංවිධානය දේයක් කිවොත් ඔන දෙයක් පිළිගන්නවනේ ලංකාවේ බහුතරයක් ඒකයි දැම්මේ). ඇමරිකානු චර්ම රෝග විද්‍යා ඇකඩමිය (AAD) සහ 2025 දී නිකුත් වූ සායනික පර්යේෂණ වාර්තා (Clinical Kidney Journal) පාදක කරගෙන ඇත.




