පොත්පත් සහ ලොව වෙනස් කළ සුවිශේෂී පුද්ගලයන්ගේ ජීවිත ඇසුරින් ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස් සොයා යන 'Case Study' ලිපි මාලාවේ පළමු පියවර තබන්නට මම තෝරා ගත්තේ මගේ ජීවිතයටත් සුවිශේෂීම බලපෑමක් කළ කෘතියක්. ඒ තමයි ඩේවිඩ් ගොගින්ස්ගේ 'Can't Hurt Me' පොත. ජීවිතයේ අප මුහුණ දෙන විවිධ අභියෝග හමුවේ නොසැලී සිටින්නට මම අදටත් මොහුගේ සමහර සංකල්ප ප්‍රායෝගිකව භාවිත කරනවා, වගේම ඒවායින් සියයට සියයක්ම සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. මගේ ජීවිතය වෙනස් කළ, ඔබේ ජීවිතයත් වෙනස් කළ හැකි ඒ අපූර්ව මිනිසාගේ සහ ඔහුගේ සංකල්පවල ගැඹුර විමසා බලන්නට අද අපි සූදානම්...
පසුබිම් කතාව කෙටියෙන්:
ඩේවිඩ් ගොගින්ස් කියන්නේ හුදෙක් ඇමරිකානු නාවික හමුදාවේ (Navy SEAL) හිටපු සෙබළෙකු හෝ අතිශය දුෂ්කර අල්ට්‍රා-මැරතන් ධාවකයෙකු විතරක් නොවයි, මිනිස් මනසේ අසීමිත හැකියාවන් ලොවට පෙන්වා දුන් ජීවමාන උදාහරණයකි.
තමන්ගේ ජීවිතයේ මුහුණ දීමට සිදු වූ අතිශය කටුක සහ වේදනාකාරී අත්දැකීම් හමුවේ පරාජය භාරගන්නවා වෙනුවට, එම වේදනාවම තම සාර්ථකත්වයේ ඉන්ධන බවට පත් කරගත් ආකාරය ඔහුගේ මෙම ග්‍රන්ථයෙන් මනාව පැහැදිලි කෙරේ.
මිනිසුන් සාමාන්‍යයෙන් තම සැබෑ හැකියාවෙන් සියයට හතළිහක් (40% Rule) පමණක් භාවිතා කරමින් සුවපහසු කලාපයන්හි හිර වී සිටින බව පෙන්වා දෙන ඔහු, ඉතිරි හැකියාවන් අවදි කර ගැනීම සඳහා මනසට ලබා දිය යුතු අසීමිත පන්නරය සහ කැපවීම පිළිබඳව මෙමගින් ගැඹුරින් විස්තර කරයි
ගොගින්ස්ගේ ළමා කාලය අතිශය ඛේදනීය එකක් විය. ඔහුගේ පියා වූ ට්‍රෘනිස් ගොගින්ස්ගෙන් ඔහුට මෙන්ම ඔහුගේ මවටද දැඩි ශාරීරික හා මානසික වධහිංසාවලට ලක්වීමට සිදු වූ අතර, පසුව ඔවුන් එම නිරය බඳු නිවසින් පලා ගොස් දරිද්‍රතාවය මැද ජීවිතය ගැටගසා ගත්තේය.
මෙයට අමතරව පාසල් කාලයේදී ඔහුට දැඩි ජාතිවාදී ගැටලුවලට මුහුණ දීමට සිදුවූ අතර, ජීවිතය ගොඩනගා ගැනීමට උදව් වූ මවගේ යහපත් සහකරු වූ විල්මොත් ද ඝාතනයට ලක් විය.
මෙම අඛණ්ඩ පීඩනයන් හෙවත් "විෂ සහිත ආතතිය" (toxic stress) හේතුවෙන් ඔහුගේ මොළයේ වර්ධනයට බාධා ඇති වූ අතර, කතා කිරීමේ දුර්වලතා සහ යමක් මතක තබාගැනීමේ/ඉගෙනීමේ දුෂ්කරතා රැසකට ඔහු කුඩාකල සිටම මුහුණ දුන්නේය.
තරුණ වියට එළඹෙන විට කිසිදු අරමුණක් නොමැතිව, රාත්‍රී කාලයේ අවන්හල්වල කැරපොත්තන් සහ මීයන් විනාශ කරන රැකියාවක නිරත වූ ඔහුගේ සිරුරේ බර රාත්තල් 300ක් දක්වා වැඩි වී තිබුණි
ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය උදා වන්නේ අහඹු ලෙස රූපවාහිනියෙන් ඇමරිකානු නාවික හමුදාවේ (Navy SEALs) දුෂ්කර පුහුණුවීම් පිළිබඳ වැඩසටහනක් දැකීමෙන් පසුවය.
තමන්ගේ ජීවිතය කෙතරම් අසාර්ථකද යන්න සහ තමා වින්දිතයෙකුගේ මානසිකත්වයෙන් (victim's mentality) ජීවත් වන බව ඔහුට එහිදී තදින්ම වැටහුණි
මෙහිදී ඔහු "වගවීමේ කැඩපත" (The Accountability Mirror) නම් සංකල්පය භාවිතා කරමින්, සෑම රාත්‍රියකම තමාගේ කැඩපත ඉදිරියට වී තමාගේ දුර්වලතා, තරබාරුකම සහ මෝඩකම ගැන සත්‍යය කිසිදු වසන් කිරීමකින් තොරව තමාටම පවසා ගත්තේය
|
|
| Source: bigwheelcoaching |
තමාගේ අඩුපාඩු සහ දෛනික ඉලක්ක කුඩා කොළ කැබලිවල ලියා කැඩපතේ අලවා ගනිමින් ඔහු නාවික හමුදා පුහුණුවට එක්වීම සඳහා මාස තුනකටත් අඩු කාලයකදී රාත්තල් 106ක් අඩු කර ගත්තේ දැඩි කැපවීමකිනි.
හමුදා පුහුණුවීම් තුළදී ඔහු දැක්වූ මානසික ශක්තිය සහ දරාගැනීමේ හැකියාව අතිවිශිෂ්ටය. සාමාන්‍යයෙන් එක් වරක් පමණක් මුහුණ දෙන SEAL පුහුණුවේ අතිශය දුෂ්කර "Hell Week" සතිය ඔහු තුන් වතාවක් අත්විඳි අතර, එක් අවස්ථාවකදී පාදවල අස්ථි බිඳී තිබියදීත් වේදනාව දරාගෙන පුහුණුවීම් සම්පූර්ණ කළේය. (ගොඩක් දෙනෙක් මෙවා දකින්නේ ෆිල්ම් වලනේ. ඇත්ත ජිවිතයේ ඒහෙම නැ වගේ මනසිකත්වයෙන් ඉන්න පිරිසක් ඉන්නවනේ නෙහ්)
මෙහිදී ඔහු තමන්ට ලබාදෙන දැඩි දඬුවම් සහ වේදනාවන් මගින් තම මනස පන්නරය ගන්වා ගැනීමේ "Calloused Mind" සංකල්පය ප්‍රායෝගිකව භාවිතා කළේය.
තවද, තම පුහුණුකරුවන්ගේ අපේක්ෂාවන් පවා අභිබවා යමින් ඔවුන්ව මානසිකව මවිතයට පත් කිරීමේ "Taking Souls" සංකල්පය ද ඔහු යොදා ගත්තේ තම කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ඒම සඳහාය
තවද, ඔහු ඇමරිකානු හමුදාවේ SEAL පුහුණුව, Army Ranger School පුහුණුව (එහිදී විශිෂ්ටතම සෙබළා බවටද පත්වෙමින්) සහ Air Force Tactical Air Controller පුහුණුව යන තුනම අවසන් කළ ඉතිහාසයේ එකම පුද්ගලයා බවට පත් විය.
හමුදා ජීවිතයෙන් ඔබ්බට ගොස් යුධ බිමේදී මියගිය විශේෂ මෙහෙයුම් රණවිරුවන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ අරමුදලකට මුදල් සෙවීම සඳහා, කිසිදු පෙර ධාවන පුහුණුවකින් තොරව සැතපුම් 101ක් පැය 24ක් තුළ ධාවනය කිරීමට ඔහු සමත් විය
එම ධාවනය අවසානයේ ඔහුගේ පාදවල අස්ථි බිඳී දරුණු තුවාල සිදුවී තිබූ අතර වකුගඩු අකර්මණ්‍ය වීමේ තත්ත්වයකට පවා පත්ව තිබුණි
එතැනින් නොනැවතී ලොව දුෂ්කරම අල්ට්‍රා මැරතන් තරඟ වන Badwater 135, Hurt 100, සහ Ultraman වැනි තරඟ ගණනාවකටම සහභාගී වී ඔහු ජයග්‍රහණ හිමිකර ගත්තේය.
ඉන්පසුව පැය 24ක් තුළ පුල්-අප් (pull-ups) 4,030ක් කරමින් ගිනස් ලෝක වාර්තාවක්ද තැබූ ඔහු, ඒ සඳහා දෙවරක් අසමත් වී දෑත්වල සම ගැලවී ගියද නැවත උත්සාහ කර ජයග්‍රහණය අත්කර ගත්තේය.
ඉති්න් මෙම අතිවිශාල ශාරීරික සහ මානසික වේදනාවන් දරා ගැනීම සඳහා ඔහු "The Cookie Jar" සංකල්පය නිරන්තරයෙන් භාවිතා කළේය; එනම්, වේදනාව දරාගත නොහැකි යැයි සිතෙන අවස්ථාවලදී අතීතයේ තමන් ලබාගත් ජයග්‍රහණ සහ බාධක ජයගත් අවස්ථා මතකයට නංවා ගනිමින් ඉදිරියට යාමට අවශ්‍ය මානසික ශක්තිය ලබා ගැනීමයි
මේ සියලු අතිමහත් සහ අමානුෂික යැයි සිතිය හැකි ක්‍රියාකාරකම් ඔහු සිදු කළේ තමන්ගේ හදවතේ උපතින්ම තිබූ සිදුරක් (Atrial Septal Defect) ද සහිතව වීම ඔහුගේ ජයග්‍රහණ තවත් සුවිශේෂී කරන අතර ඒ සඳහා ඔහුට දෙවරක් හදවත් සැත්කම් වලටද මුහුණ දීමට සිදු විය.
ඩේවිඩ් ගොගින්ස්ගේ මෙම සිද්ධි අධ්‍යයනය හුදෙක් ශාරීරික ජයග්‍රහණ සහ වාර්තා පිළිබඳ කතාවක් පමණක් නොවේයි. එයින් උගන්වන්නේ සහජ දක්ෂතාවලට වඩා කෙනෙකුගේ දැඩි කැපවීම, වේදනාව දරාගැනීම සහ කිසිදා පසුනොබසින මානසික ශක්තිය සාර්ථකත්වයට කෙතරම් බලපාන්නේද යන්නයි
තමන්ගේ ළමා කාලය කෙතරම් අඳුරු වුවත්, සමාජයෙන් කෙතරම් බාධා සහ ප්‍රතික්ෂේපවීම් පැමිණියත්, වේදනාවට සහ අපහසුතාවන්ට නිරන්තරයෙන් මුහුණ දීමෙන් මනස සන්නාහයක් සේ ශක්තිමත් කරගත හැකි බව (Armored Mind) සහ එමගින් ලෝකයේ කිසිවෙකුටත් කළ නොහැකි යැයි සිතන ඕනෑම ඉලක්කයක් සපුරාගත හැකි බව ඔහු තම ජීවිතයෙන්ම ලෝකයට ඔප්පු කර පෙන්වා ඇත
මේ සාර්ථකත්වය සඳහා ඔහු යොදාගත් ප්‍රධාන සංකල්ප
වගවීමේ කැඩපත (The Accountability Mirror): ඔහු සෑම රාත්‍රියකම තමාගේ කැඩපත ඉදිරියට වී තමාගේ දුර්වලතා ගැන තමාටම සත්‍යය පවසා ගත්තේය.
තමාගේ අඩුපාඩු සහ ඉලක්ක කුඩා කොළ කැබලිවල ලියා කැඩපතේ අලවා ගනිමින්, ජීවිතය ගොඩනගා ගැනීමට වෙන කිසිවෙකු නොපැමිණෙන බවත් ඊට තමාම වගවිය යුතු බවත් ඔහු තරයේ විශ්වාස කළේය
40% නීතිය (The 40% Rule): ගොගින්ස්ට අනුව, අපට තවදුරටත් කිසිවක් කළ නොහැකි යැයි සිතෙන විට හෝ දැඩි වෙහෙසක්/වේදනාවක් දැනෙන විට, අප ඇත්ත වශයෙන්ම භාවිතා කර ඇත්තේ අපගේ සම්පූර්ණ හැකියාවෙන් 40% ක් පමණි
ඉතිරි 60% භාවිතා කිරීම සඳහා, වේදනාව සහ මොළයෙන් එන පසුබෑමේ සිතුවිලි ජයගත යුතු බව ඔහු ප්‍රකාශ කරයි.
කුකී ජාර් සංකල්පය (The Cookie Jar): අසීරු අවස්ථාවලදී සහ වේදනාවන් දරාගත නොහැකි වූ විට, අතීතයේ තමන් ලබාගත් ජයග්‍රහණ සහ බාධක ජයගත් අවස්ථා සිහිපත් කිරීම මෙයින් අදහස් වේ.
මෙමගින් අපට නැවතත් ඉදිරියට යාමට අවශ්‍ය මානසික ශක්තිය (Adrenaline) ලබා ගත හැක.
පන්නරය ලැබූ මනස (Calloused Mind): දෑත්වලින් බර වැඩ කරන විට දෑත්වල සම ගොරෝසු වී පන්නරය ලබන්නා සේම, ජීවිතයේ අපහසුතාවයන් සහ වේදනාවන්ට නිරන්තරයෙන් මුහුණ දීමෙන් මනසද පන්නරය ලබන බව ඔහු පෙන්වා දෙයි.
'40% නීතිය' අපේ එදිනෙදා ජීවිතයට අදාළ කරගන්නේ කොහොමද?
ඩේවිඩ් ගොගින්ස්ගේ "40% නීතිය" (The 40% Rule) පවසන්නේ, යම් කාර්යයකදී අපට තවදුරටත් කිසිවක් කළ නොහැකි යැයි සිතෙන විට හෝ අපගේ උපරිම සීමාවට පැමිණ ඇතැයි හැඟෙන විට, අප ඇත්ත වශයෙන්ම භාවිතා කර ඇත්තේ අපගේ සම්පූර්ණ හැකියාවෙන් 40% ක් පමණක් බවයි.
ඉතිරි 60% ක සැඟවුණු විභවය අවදි කර ගනිමින් මෙම නීතිය අපගේ එදිනෙදා ජීවිතයට (රැකියාව, අධ්‍යාපනය සහ පෞද්ගලික සබඳතා සඳහා) අදාළ කර ගත හැකි ප්‍රායෝගික ක්‍රම කිහිපයක් පහතින් දක්වා ඇත.
ඔබේ මනසේ ඇති "පාලකය" (The Governor) හඳුනාගැනීම
වාහනයක එන්ජිමේ වේගය සහ උෂ්ණත්වය පාලනය කරන වෙනම උපකරණයක් (governor) ඇති සේම, අපගේ මනස තුළද අපව වේදනාවෙන් සහ අපහසුතාවයන්ගෙන් ආරක්ෂා කිරීමට ක්‍රියා කරන පාලකයක් ඇත. ඔබට යම් කාර්යයකදී මුලින්ම දැනෙන දැඩි වෙහෙස හෝ වේදනාව කියන්නේ ඔබේ සැබෑ සීමාවන් නෙවෙයි, එම මනසේ පාලකයාගේ හැඟවීමක් පමණක් බව වටහා ගන්න. අපගේ අනන්‍යතාවය සහ අප ගැනම ගොඩනගාගෙන ඇති සීමාකාරී සිතුවිලි අත්හැර දැමීමෙන් මෙම පාලකය ඉවත් කරගත හැක.
ඔබ සමඟම කරන අභ්‍යන්තර කතාබහ පාලනය කිරීම
වෙහෙස හෝ වේදනාව දැනෙන විට ඉලක්ක සහ සිහින අත්හැර දැමීමට ඔබේ මනස පෙළඹෙනවා. එවැනි අවස්ථාවල එම සිතුවිලි පාලනය කරගනිමින්, "මා සිතන තරම් මා තවමත් විඩාවට පත්වී නැත" සහ "තවමත් මා මගේ උපරිමය ලගා වෙලා නෑ." යනුවෙන් ඔබටම පවසා ගන්න.
මෙසේ ඔබේ මනස සමඟ කරන කතාබහ පාලනය කිරීම මගින් ඔබට තවත් අමතර 5% ක පමණ ශක්තියක් ක්ෂණිකව ලබා ගත හැකි වනු ඇත
පියවරෙන් පියවර සීමාවන් පුළුල් කිරීම (තවත් 5% - 10% න් ඉදිරියට යාම)
ඔබේ ඉතිරි 60% ම එකවර භාවිතා කිරීමට උත්සාහ නොකරන්න. ඒ වෙනුවට, ඔබ සාමාන්‍යයෙන් යමක් කර නතර කරන ස්ථානයෙන් තවත් 5% ක් හෝ 10% ක් පමණක් ඉදිරියට යාමට උත්සාහ කරන්න.
උදාහරණයක් ලෙස, ඔබ ව්‍යායාම කිරීමේදී සාමාන්‍යයෙන් තල්ලු කිරීම් (push-ups) 100 ක් කරන්නේ නම්, එය 105 දක්වා වැඩිකරන්න.
ඔබ සාමාන්‍යයෙන් පාඩම් කරන හෝ රැකියාවේ වැඩ කරන කාලයට වඩා තවත් සුළු වේලාවක් අපහසුවෙන් වුවද අමතරව නිරත වන්න.
මෙලෙස ක්‍රමානුකූලව ඔබේ සීමාවන් පුළුල් කිරීම (resetting the baseline) මගින් අපහසු දේවල් එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය පුරුදු බවට පත්වනු ඇත.
වේදනාව දරාගැනීම සහ මනස පන්නරය ගැන්වීම (Callousing the Mind)
බොක්සිං ක්‍රීඩකයෙකු කාලයත් සමඟ වේදනාකාරී පහරවල් දරාගැනීමට හුරුවන්නා සේම, නිරන්තරයෙන් අභියෝගවලට මුහුණ දීමෙන් ඔබේ මනසද පන්නරය ලබයි දිනපතාම ඔබට අපහසු, එහෙත් කළ යුතුම දේවල් සඳහා මුහුණ දෙන්න. එයින් අත්දැකීම් ලබන ඔබේ මනස (හරියට AI model ඒකක් වගේ) මීට වඩා බොහෝ දේවල් දරාගැනීමට ඔබට හැකි බව වටහා ගනු ඇත
මෙම 40% නීතිය හුදෙක් ක්‍රීඩාවට පමණක් සීමා වූවක් නොවේ. අපගේ ජීවිතයේ කිසිවක් අප බලාපොරොත්තු වන ආකාරයටම සිදු නොවෙයි, රැකියාවේදී, පාසලේදී හෝ අපගේ සමීපතම සබඳතාවලදී පවා අපට දුෂ්කරතා පැමිණේනවා. එවැනි අසීරු අවස්ථාවලදී අපගේ සුවපහසු කලාපයෙන් (comfort zone) මිදී, අපේ සැබෑ හැකියාවන් කරා ළඟා වීමට මෙම නීතිය උපකාරී වෙනවා.
අතීත ජයග්‍රහණ සිහිකරන 'කුකී ජාර්' සංකල්පය කියන්නේ මොකද්ද?
ඔහුගේ පොතේ ("Can't Hurt Me") සඳහන් කරන්නේ ඔහු අතිශය දුෂ්කර බාධක මැද (උදාහරණයක් ලෙස දරුණු මාංශ පේශි තුවාල සහ වකුගඩු අකර්මණ්‍ය වීම් මැද Badwater 135 වැනි අතිශය දුෂ්කර මැරතන් දිවීමේදී) තවදුරටත් ඉදිරියට යා නොහැකිව මනස සම්පූර්ණයෙන්ම කඩා වැටුණු මොහොතක මේ සංකල්පය නිර්මාණය කරගත්ත බවයි. එහිදී ඔහු කල්පනා කළේ සාමාන්‍ය මිනිසුන් මානසිකව වැටුණු විට සතුටක් ලැබීමට සැබෑ කුකීස් (බිස්කට්) කනවා සේ, තමාට මෙම අසීරු අවස්ථාවෙන් ගොඩ ඒමට මනස තුළ "මානසික කුකීස්" (තමා ලැබූ අතීත ජයග්‍රහණ) මතක් කරගත යුතු බවයි.
මෙම සංකල්පය තවදුරටත් පහත කරුණු අපිට පැහැදිලි කරගන්න පුලුවන්:
ඔබේ ජයග්‍රහණ ගබඩා කිරීම
මෙම මානසික කුකී ජාර් එක තුළ ඇත්තේ සාමාන්‍ය කුකීස් නොව, ඔබ අතීතයේ ලබාගත් ජයග්‍රහණ සහ බාධක ජයගත් අවස්ථාවන්ය. මේවා අතිවිශාල ජයග්‍රහණම විය යුතු නැති අතර, දුම්පානය නැවැත්වීම, මානසික අවපීඩනය ජයගැනීම, බර අඩු කරගැනීමේදී පළමු රාත්තල් කිහිපය අඩු කරගැනීම, හෝ කුඩා කාලයේ අපහසුවෙන් වුවද අලුත් දෙයක් ඉගෙනගැනීම වැනි ඔබේ කුඩා ජයග්‍රහණ පවා මීට අයත් වේ
ගොගින්ස් පවසන්නේ මෙම කුඩා ජයග්‍රහණ, අනාගතයේ දැවැන්ත ගින්නක් නිර්මාණය කිරීමට අවශ්‍ය කරන කුඩා ගිනි පුපුරු වැනි බවයි.
අසීරු අවස්ථාවලදී එය භාවිතා කිරීම
අප යම් ඉලක්කයක් හෝ අසීරු කාර්යයක නිරත වන විට දැඩි වේදනාව, තෙහෙට්ටුව සහ මානසික සැකය නිසා ඒ සියල්ල අත්හැර දැමීමට සිතෙන අවස්ථා එළඹේ. එවැනි අවස්ථාවලදී ඔබ කළ යුත්තේ ඔබගේ මනසේ ඇති මෙම කුකී ජාර් එකට අත දමා ඔබේ අතීත ජයග්‍රහණයක් නැවත සිහිපත් කරගැනීමයි.
හැඟීම් අවදි කිරීම
මෙහිදී හුදෙක් ඒම සිදුවීම මතක් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර එම ජයග්‍රහණය ලැබූ මොහොතේ සහ එම බාධකය ජයගත් මොහොතේ ඔබට දැනුණු සැබෑ හැඟීම සහ ජවය නැවතත් මනසට කැඳවා ගත යුතුය.
මෙමගින් අපගේ ස්නායු පද්ධතිය (sympathetic nervous system) ක්ෂණිකව උත්තේජනය වී, වේදනාව සමනය කරමින් ඔබට අහිමි වී ගිය අමතර ජවය නැවත ලබා දෙයි
මෙය ප්‍රායෝගිකව භාවිතා කිරීම සඳහා, ඔබ අතීතයේ අත්කරගත් සියලුම කුඩා හා විශාල ජයග්‍රහණ සටහන් පොතක ලියාගන්නා ලෙස ගොගින්ස් උපදෙස් දෙයි. ඉන්පසු යම් අභියෝගාත්මක කාර්යයකදී ඔබට වේදනාව හෝ මානසික පසුබෑමක් දැනෙන විට, මෙම ජයග්‍රහණයන්ගෙන් එකක් එළියට ගෙන එය ඉන්ධනයක් කරගනිමින්, ඔබේ සිතුවිලි ක්‍රියාවලිය සහ මනස පාලනය කරගැනීමට මෙම කුකී ජාර් සංකල්පය කෙටි මාවතක් කරගත හැක.
වගවීමේ කැඩපත (The Accountability Mirror) සංකල්පය කියන්නෙ මොකද්ද?
වගවීමේ කැඩපත යනු ඩේවිඩ් ගොගින්ස් තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීම සඳහා තමාටම වගවෙමින්, සත්‍යයට මුහුණදීමට භාවිත කළ සුවිශේෂී සහ සෘජු මානසික මෙවලමකි. කිසිදු වසන් කිරීමකින් තොරව තමාටම කටුක සත්‍යය පවසා ගැනීම මෙහි මූලික පදනම වේ. මෙය තමන්ටම ආදරය කරන (self-love) ක්‍රමයක් හෝ තමන්ගේ ඊගෝව සනසන ක්‍රමයක් නොවන අතර, ඊගෝව මුළුමනින්ම බිඳ දමා සැබෑ 'ඔබ' කවුදැයි හඳුනාගැනීමේ පළමු පියවරයි. උදාහරණයක් ලෙස, ඔබ තරබාරු නම් බර අඩු කරගත යුතු යැයි නිකම්ම සිතනවා වෙනුවට, "මම තරබාරුයි" යන සත්‍යය කැඩපත ඉදිරියේ තමාටම පවසා ගත යුතුය.
එසේම පාසලේ වැඩ / ඒදිනෙදා වැඩ කටයුතු හරියට කර ගන්න බැරි වුනා නම්, තමන් මෝඩ බවත් එය නිවැරදි කරගැනීමට දැන්වත් මහන්සි වී වැඩ කළ යුතු බවත් අවංකවම තමාට පවසා ගත යුතුය.
මෙම සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය.
ඉලක්ක සහ දුර්වලතා සටහන් කිරීම
ඔබගේ සියලුම අනාරක්ෂිතභාවයන් , සිහින සහ ඉලක්ක කුඩා කොළ කැබලිවල ලියා කැඩපත මත අලවා ගත යුතුය. මේ සඳහා ජංගම දුරකථන වැනි ඩිජිටල් උපකරණ භාවිත කිරීම සුදුසු නොවන බව ඔහු පවසයි.
ඉලක්ක කුඩා පියවරවලට කැඩීම
ඔබේ ඉලක්කය කුමක් වුවත් (රැකියාව වෙනස් කිරීම, බර අඩු කිරීම හෝ මැරතන් තරඟයක් දිවීම, විභාගයක් ජය ගැනිම...) එයට ළඟා වීම සඳහා දිනපතා ගත යුතු කුඩා පියවර අනුපිළිවෙලින් එකින් එක සටහන් කළ යුතුය.
උදාහරණයක් ලෙස රාත්තල් 40ක් අඩු කරගැනීමට අවශ්‍ය නම්, පළමු කොළ කැබැල්ලේ සටහන් විය යුත්තේ පළමු සතියේදී රාත්තල් 2ක් අඩු කරගන්නා බවයි.
දෛනිකව තමාටම වගවීම
ගොගින්ස් මෙය මුලින්ම ආරම්භ කළේ තමාගේ ඇඳ හමුදා ක්‍රමයට සැකසීම, කලිසම නිසි ලෙස ඇඳීම, දිනපතා හිස මුඩු කිරීම සහ පිඟන් සේදීම වැනි කුඩා දෛනික කාර්යයන්ගෙන් වන අතර. ඔබත් එම කුඩා පියවරයන් සම්පූර්ණ කරන තෙක් දිනපතාම ඔබටම වගවිය යුතුය.(අර ගමේ ගොඩේ කතාවක් තියෙනවනේ "රට හදන්න කලින් තමන් නිදා ගත්තු ඇද හදන්න කියල")
අප දිනපතා දකින මේ කැඩපත සෑම විටම අපට සත්‍යය පවසන බැවින් තවදුරටත් තමන්වම රවටා ගැනීමෙන් කිසිදු ඵලක් නැති බව ගොගින්ස් පෙන්වා දෙයි.
ජීවිතයේ කුමන තරාතිරමක සිටින අයෙකුට වුවද විශ්‍රාම යාමට ආසන්න අයෙකු, තරබාරුකමෙන් පෙළෙන්නෙකු හෝ ජිවිතය ඒපා වෙලා කලකිරිමකට පත්වෙලා ඉන්න කෙනෙකුට වුනාත් තමන්ගේ ගමනාන්තය වෙනස් කරගැනීම සඳහා මෙම කටුක සහ අවංක ක්‍රමවේදය ඉතා ප්‍රායෝගිකව උපකාරී වේ.
ආත්මයන් ග්‍රහණය කරගැනීම (Taking Souls)
Taking Souls (ආත්මයන් ග්‍රහණය කරගැනීම) යනු ඩේවිඩ් ගොගින්ස් විසින් හඳුන්වා දෙන තවත් සුවිශේෂී මානසික සංකල්පයකි.(පෞද්ගලිකව මමත් වැඩියෙන්ම භාවිත කරපු ක්‍රමයක්) මෙයින් සරලව අදහස් වන්නේ යම් අභියෝගයකදී හෝ තරඟයකදී තම ප්‍රතිවාදියාගේ මනස ආක්‍රමණය කර, ඔවුන්ගේ අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම බිඳ දමා තමන් වෙත උපක්‍රමශීලී වාසියක් ලබා ගැනීමයි.
මෙම සංකල්පය ඔහුට මුලින්ම ප්‍රායෝගිකව භාවිතා කිරීමට ලැබුණේ Navy SEAL පුහුණුවේ "Hell Week" සතිය තුළදීය. එහිදී උපදේශකයින් ඔවුන්ව මානසිකව හා ශාරීරිකව දැඩි ලෙස කඩා වැට්ටවීමට සහ පරාජය භාරගැනීමට බල කරන විට, ගොගින්ස් සහ ඔහුගේ කණ්ඩායම (Boat Crew Two) වේදනාවෙන් බිඳ වැටෙනවා වෙනුවට, "YOU CAN'T HURT BOAT CREW TWO!" ලෙස කෑගසමින් අසාමාන්‍ය ජවයකින් ක්‍රියා කළේය.
තමන් කොතරම් දඬුවම් දුන්නද මොවුන් කඩා නොවැටෙන බව දුටු විට උපදේශකයින් මවිතයට පත් වූ අතර, ප්‍රතිවාදියාගේ එම මවිතය සහ මානසික පසුබෑම ගොගින්ස්ට අමතර ජවයක් (second wind) ලබා දුන්නේය.
මෙම සංකල්පය ක්‍රීඩාවකට හෝ යුධ පිටියට පමණක් සීමා වූවක් නොවන අතර, කාර්යාලයේ දේශපාලනය, රැකියා සම්මුඛ පරීක්ෂණ, හෝ අධ්‍යාපනික අභියෝග වැනි එදිනෙදා ජීවිතයේ ඕනෑම අවස්ථාවක් ජයගැනීමට භාවිතා කළ හැක.
Taking Souls සංකල්පය සාර්ථකව භාවිතා කිරීමට පහත කරුණු වැදගත් වේ
මෙය ඔබට එරෙහිව ඔබම කරන සටනකි
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ අන් අයගේ මානසිකත්වය විනාශ කිරීම හෝ ඔවුන්ට හිංසා කිරීම නොව, ඔබට අවශ්‍ය අවස්ථාවේදී ඔබේ උපරිම දක්ෂතාවය එළියට ගැනීම සඳහා ඔබ සමඟම සිදුකරන මානසික ක්‍රීඩාවක නිරත වීමයි
දුර්වලතා හඳුනාගැනීම
ප්‍රතිවාදියාගේ මෙන්ම ඔබගේද දුර්වලතා සහ අනාරක්ෂිතභාවයන් (insecurities) කල්තියා හඳුනාගැනීම මෙහිදී වැදගත් වේ
අසීරුම අවස්ථාවේ උපරිමය ලබා දීම
ඔබට තවදුරටත් කිසිවක් කළ නොහැකි යැයි සිතෙන, ඔබට වඩාත්ම අපහසුව සහ වේදනාව දැනෙන අවස්ථාවේදී ඔබේ උපරිම දක්ෂතා පෙන්වීම මගින් ප්‍රතිවාදියාගේ මානසික ශක්තිය බිඳ දැමීම මෙයින් අපේක්ෂා කෙරේ
විශිෂ්ටත්වය (Excellence)
ඔබව පහතට හෙළීමට උත්සාහ කරන ගුරුවරයෙකු, ප්‍රධානියෙකු හෝ වෙනත් ඕනෑම ප්‍රතිවාදියෙකු වේවා, ඔවුන්ගේ ඍණාත්මක බලපෑම් ඔබේ සාර්ථකත්වයේ ඉන්ධන බවට පත් කරගනිමින් ඔබේ විශිෂ්ටත්වය තුළින් ඔවුන්ව නිහඬ කිරීම "Taking Souls" හි අවසාන අරමුණයි
පන්නරය ලැබූ මනස (Calloused Mind)
මෙම සංකල්පය පහත කරුණු ඔස්සේ තවදුරටත් විස්තර කළ හැක
කායික පන්නරය මනසට ආදේශ කිරීම
ඔබ පළමුවරට බර ඔසවන විට දෑත්වල සම මෘදු නිසා තුවාල වුවද, නිරන්තරයෙන් අඛණ්ඩව එය කිරීමේදී දෑත්වල සම ගොරෝසු වී පන්නරයක් (thick callous) ඇති වී ආරක්ෂාව ලැබෙන බව ගොගින්ස් පෙන්වා දෙයි
මනසටද මෙය එලෙසම අදාළ වේ. කෙනෙකු ජීවිතයේ අසීරුතා, හිරිහැර, ප්‍රතික්ෂේපවීම් සහ පරාජයන්ට මුහුණ දෙන තෙක් ඔවුන්ගේ මනස මෘදු සහ පහසුවෙන් තුවාල වන අවදානම් තත්ත්වයක පවතී.
සුවපහසු කලාපයෙන් මිදීම.
පන්නරය ලැබූ මනසක් ගොඩනගා ගැනීමේ පළමු පියවර වන්නේ නිතිපතා ඔබේ සුවපහසු කලාපයෙන් (comfort zone) පිටතට පැමිණීමයි. දිනපතාම ඔබට අපහසු, වේදනාකාරී සහ ඔබ කිරීමට අකමැති දේවල් හිතාමතාම කුඩාවට හෝ කිරීමෙන් (උදාහරණයක් ලෙස: අලුයම අවදි වී දිවීම, ඇඳ සකස් කිරීම හෝ අපහසු කාර්යයක නිරත වීම) මනස පන්නරය ලබයි.
ගොගින්ස් පවසන්නේ තම සැබෑ හැකියාවන් කරා ළඟා වීමට නම් අපහසු දේවල් සහ වේදනාවන් හඹා යාම තම රැකියාව සේ සැලකිය යුතු බවයි.
වින්දිත මානසිකත්වයෙන් (Victim's Mentality) මිදීම.
ජීවිතයේ මුහුණ දුන් කටුක අත්දැකීම් සහ වේදනාවන් ගැන සිතමින් තමන්ව වින්දිතයෙකු කරගන්නවා වෙනුවට, එම අපහසු අත්දැකීම් සියල්ලම මනස ශක්තිමත් කරන ආයුධයක් කර ගත යුතු බව ඔහු පෙන්වා දෙයි.
දුෂ්කර අවස්ථා ජයගැනීමට උපකාරී වීම .
යම් අභියෝගයකදී ඔබට තවදුරටත් ඉදිරියට යා නොහැකි යැයි සිතෙන විට සහ මනසින් පසුබෑමේ සිතුවිලි එන විට, අතීතයේ ඔබ මුහුණ දුන් අසීරුතා සහ ඒ තුළින් ඔබ ලද පන්නරය සිහිපත් කරන්න. එය ඔබව සෘණාත්මක සිතුවිලි වලින් (negative brain loop) මුදාගෙන, අත්නොහැර සටන් කිරීමට අවශ්‍ය අමතර ජවය සපයා දෙයි.
මන්දයත් කෙනෙකුට යමක් අත්හැර දැමීමට සිතෙන මොහොතේ තම උපරිම ශක්තිය යෙදවීම තුළින් මනස විශාල වශයෙන් පන්නරය ලබයි.
වේදනාවට හුරුවීම
කලින් සදහන් කරා වගේම, බොක්සිං ක්‍රීඩකයෙකු කාලයත් සමඟ වේදනාකාරී පහරවල් දරාගැනීමට හුරුවන්නා සේම, මනසද පන්නරය ලැබූ පසු අභියෝග හමුවේ කඩා වැටෙන්නේ නැත.
කෙටියෙන්ම කිවහොත්, "පන්නරය ලැබූ මනසක්" යනු ජීවිතයේ අපහසු දේවල් වලින් පලා නොගොස්, ඒවාට නිරන්තරයෙන් මුහුණ දීමෙන් වේදනාවට සහ අභියෝගවලට ඔරොත්තු දෙන ලෙස සකස් කරගත් නොසැලෙන මානසිකත්වයයි.
මේ පොත නොමිලේ බාගත කිරිමට පහතින් අවස්ථාවක ලබා දි ඇත.
