ජනපද උද්ධ්වංසනය පිළිබඳ ඓතිහාසික විවරණය




{tocify} $title={අන්තර්ගතය}


සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයෙහි ඉගැන්වෙන පරිදි, කිසියම් රෝග කාරකයක් වසංගත ආකාරයෙන් පැතිර යන රෝග ඇති කරමින් යම් දේශයක් විනාශයට පත් කිරීම, “ජනපද උද්ධ්වංසනය” යි.

පුරාණ භාරත තක්ෂිලා විශ්වවිද්‍යාලයෙහි ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රීය පර්යේෂණ අංශයේ නිර්මාතෘ, කාය චිකිත්සාවෙහි පීතෘ, මහඍෂි පුනර්වාසු ආත්‍රෙය භාෂිතය අනුව, කෘත යුගයෙහි ආදි මානවයා ඉතා ශක්ති සම්පන්න ප්‍රභාමත් සිරුරු දැරූ, ප්‍රසන්න ඉඳුරන් හා පැහැපත් වර්ණයන්ගෙන් යුක්ත ලෝභ ද්වේෂාදියෙන් දුරස් වූ, දීර්ඝායුෂ ලැබූ අයෙකි. එකල භවභෝග ආදිය සියලු ගුණයන්ගෙන් හා රස- වීර්ය- විපාක- ප්‍රභාවයන්ගෙන් පරිපූර්ණව පැවතිණි.

ධනය රැස්කිරීමේ ආශාව මතුවීමත් සමඟ මනුෂ්‍යයා තුළ ලෝභයෙන් අනුන් නැසීමේ හා අනුන් පරයා නැගී සිටීමේ කැමැත්ත ඇතිවීමෙන් විවිධ අධර්මිෂ්ට ගති වර්ධනය විණි. යුගයක් යුගයක් පාසා මෙලෙස මනුෂ්‍යයා ධර්මයෙන් දුරස් වූ ක්‍රියාකාරකම්හි නිරතවීම හේතුවෙන් සත්ත්වයාගේ ත්, භවබෝග ආදියේ ත් ගුණ හීන වී, රස- වීර්ය- විපාක- ප්‍රභාවයන්ගේ ත් ශක්ති හීන වී යයි. විපරීත ඍතු ලක්ෂණ පිළිබිඹු කරයි. මේ හේතුවෙන් මනුෂ්‍යයාගේ ආයුෂ ප්‍රමාණයත් හීන වී යයි.

වර්තමානයේ අප පසු කරමින් සිටින්නේ කලි යුගය යි. යම් දේශයක පුරවැසියන් සොබා දහමට එරෙහි වූ ක්‍රියාකාරකම්වල නිරත වේද ඒ හේතුවෙන් නිර්මාණය වන අහිතකර ප්‍රභවයන් ඇසුරින් උපදින විවිධ භූත ගණයෝ (පියවි ඇසට නොපෙනෙන විකෘතියට පත් ජීවීන්ගෙන්) ඒ සියලු මිනිසුන් පීඩාවට පත් කරති. ජනපද විනාශයට පත් කරති. එම රෝග කාරකයට සුදුසු පරිසර තත්ත්වයන් සහිත එනම් ප්‍රජාවගේ ශාරීරික හෝ මානසික හෝ බාහිර පරිසර තත්ත්වාදියක හෝ යම් සමානතාවයක් පවතින වෙනත් දේශයන් ද ආක්‍රමණය කිරීමේ හැකියාව පවතින බව ද දක්වයි.


විකාරජ හෙවත් දුර්නාම සූක්ෂ්ම ක්‍රිමි

මානව ශරීර ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති කළ හැකි ඇසට නොපෙනෙන ක්ෂුද්‍රප්‍රාණීන් පිළිබඳ තොරතුරු විධිමත්ව සඳහන් වන පළමු ලිඛිත මූලාශ්‍රය අථර්වන් වේදය යි. අථර්වන් වේදයට අනුව, සර්පවත් චලන සහිත අපගේ පියවි ඇසට පෙනෙන ජීවීන් (දෘෂ්‍ට ක්‍රිමි/ ස්ථූල ක්‍රිමි) සහ ඉතා වේගවත් චලන සහිත පාද රහිත පියවි ඇසට නොපෙනෙන විදු ඇසින් (අන්වීක්ෂාදීයකින්) දැකිය හැකි ජීවීන් (අදෘෂ්ට ක්‍රිමි/ සූක්ෂ්ම ක්‍රිමි) වශයෙන් ක්‍රිමි කාණ්ඩ දෙකකි.

මේ අනුව නව්‍ය වෛද්‍ය විද්‍යාවෙහි දැක්වෙන “වෛරස”, “බැක්ටීරියා” ආදිය අයත් වන්නේ “අදෘෂ්‍ය ක්‍රිමි” හෙවත් “සූක්ෂ්ම ක්‍රිමි” කාණ්ඩයට යි. නව්‍ය වෛද්‍ය විද්‍යාවෙහි සඳහන් වෛරස- බැක්ටීරියා ආසාදනයෙන් ඇති වන රෝග කාණ්ඩ කිහිපයක්ම ආයුර්වේද මූල ග්‍රන්ථයන්හි ක්‍රිමිජ රෝග ලෙස සඳහන්ව තිබීමෙන් එය තවදුරටත් සනාථ වේ.

වේද සාහිත්‍යයට අනුව, ජලය, වාතය, පරිසරය, ගස් වර්ග හා මනුෂ්‍ය ශරීරය ඇසුරු කරගනිමින් තම ජීවිතය පවත්වාගෙන යන “සුනාම සූක්ෂ්ම ක්‍රිමි” මිනිසාට හිතකර වන අතර “විකාරජ හෙවත් දුර්නාම සූක්ෂ්ම ක්‍රිමි” ජලය, වාතාදිය දූෂණය කරයි. ගස් වැල්වලට, මිනිසාට රෝග ඇති කරයි. එම විකාරජ සූක්ෂ්ම ක්‍රිමි අතර කේසර සහිත වූවන් ද වේ. ගෝලාකාර වූවන් ද වේ. වේගවත් චලන සහිත වූවන් ද වේ.


ආගන්තුක රෝග

පියවි ඇසට නොපෙනෙන සියළු ජීවී කාණ්ඩ හැඳින්වීම සඳහා පොදු නාමයක් ලෙස “භූත” යන පදය ද යොදා ගෙන ඇත. භූත- විෂ- වායු ආදිය මිනිසා මතම උත්පතනය වීමෙන් උපදින රෝග “ආගන්තුජ රෝග” නමින් හඳුන්වන අතර එමගින් මිනිසා අකාලයේ මියැදෙන බව ත්, ආගන්තුජ රෝගයන්ට හේතුව මිනිසාගේ ලෝභාදී අධර්මයන් හේතුවෙන් සිදු කරන අහිතකර මානව ක්‍රියාකාරකම් බව ත් පැහැදිලිවම දක්වයි.

ලෝභාදී අධර්මයන් හේතුවෙන් මනුෂ්‍ය ශරීරයෙහි රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව (ව්‍යාධික්ෂමත්වය) සීඝ්‍රයෙන් පහළ දමයි. එවිට පහසුවෙන්ම දුර්නාම සූක්ෂ්ම ක්‍රිමි ග්‍රහණයට මිනිස් සිරුර නතු වේ. ඒ හේතුවෙන් ශාරීරික ඕජස හීන වේ. එසේම ආගන්තුජ රෝග කාරකයෝ මිනිස් සිරුර ආක්‍රමණය කිරීමෙන් පසු වාතාදී දෝෂ විකෘතිභාවයට පත් වේ.


සංක්‍රාමික රෝග

සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව, දුර්නාම සූක්ෂ්ම ක්‍රිමි කෙනෙකුගෙන් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙමින් ඇති කරන වසංගත රෝග හැඳින්වීම සඳහා යොදාගෙන ඇත්තේ “සංක්‍රාමික රෝග” යන නාමය යි. රෝග ව්‍යාප්තියට හේතු නම්,

• රෝගී වූවන් සිටින ප්‍රදේශවලට, ස්ථානවලට යාම.

• ආසාදිතයකු සමඟ සමීප සබඳතා පැවැත්වීම.

• ආසාදිතයෙකුගේ ප්‍රශ්වාස වාතයට නිරාවරණය වීම, ශරීර තරල ස්පර්ශ වීම.

• ආසාදිතයකු සමඟ එකම සයනයක නිදාගැනීම, එකම ආසනයක වාඩි වීම.

• ආසාදිතයකු සමඟ සමීපව මුහුණට මුහුණලා සිටිමින් කටයුතු කිරීම.

• පිඟන්, කෝප්ප, ඇඳුම්, ආලේපන, ආභරණ ආදිය පොදුවේ පරිහරණය කිරීම.


දුර්නාම සූක්ෂ්ම ක්‍රිමි උපදවන රෝග

ආයුර්වේද මූලග්‍රන්ථයන්හි දැක්වෙන පරිදි ජනපද විනාශයට පත් කරන සංක්‍රාමික රෝග කාරකයක් පැමිණියහොත්, එම දේශවාසීන්ගේ ශරීරයේ ස්වභාවය සහ වයස කෙබඳු වුවත් පහත රෝගවලින් ඔවුන් පීඩාවට පත් කරනු ලබයි. එනම්,

  • උණ
  • ශ්වසන රෝග
  • වමනය
  • ප්‍රතිශ්‍යාව
  • බෝ වන සමේ රෝග
  • අජීර්ණ රෝග
  • හිසේ රෝග
  • හෘද රෝග
  • ඇස් රෝග
  • මූර්ච්ඡා ආදිය යි.

නව්‍ය වෛද්‍ය විද්‍යාව මගින් හඳුන්වා දී ඇති ‍වෛරසයෙහි ක්‍රියාකාරිත්වය හා මෙම දුර්නාම සූක්ෂ්ම ක්‍රිමි ක්‍රියාකාරිත්වය අතර ඉතා සමීප සබඳතාවයක් ඇති බව මෙම සංක්ෂිප්ත සටහනෙන් ඔබට ප්‍රත්‍යක්ෂ වනු ඇත.


දුර්නාම සූක්ෂ්ම ක්‍රිමි රෝග කළමනාකරණය

දුර්නාම සූක්ෂ්ම ක්‍රිමි රෝග කළමනාකරණය කිරීමේදී පියවර තුනක් අනුගමනය කළ යුතු බව ආයුර්වේද මූලග්‍රන්ථයන්හි පැහැදිලිවම සඳහන් වේ. එනම්,

• රෝග කාරකයට නිරාවරණය නොවෙමින් (ස්වයං නිරෝධායනය) ව්‍යාප්තවීමට බලපාන හේතුවලින් දුරස් වීම.

(නිදාන පරිවර්ජනය)

• ශරීරගත ස්වභාවික ප්‍රතිශක්තිය (ව්‍යාධික්ෂමත්වය) වැඩි දියුණු කර ගැනීම මගින් දුර්නාම සූක්ෂ්ම ක්‍රිමියාගේ බෝවීමට අවශ්‍ය හිතකර පරිසරය ඉවත් කිරීම.

(ප්‍රකෘති විඝාතය)

• දේශීය ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් රෝග කාරක සූක්ෂ්ම ක්‍රිමි විනාශ කර සිරුරෙන් ඉවත් කිරීම.

(ක්‍රිමි අපකර්ෂණය)


👩‍⚕‍ වෛද්‍ය දර්ශනී දිසානායක

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

Post a Comment

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.