මතු ලොව්තුරා බුදු බව පතනා, අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේ තරම් මිනිසාගේ පියවි ඇසට නොපෙනෙන ලෝකය පිළිබද දෙවියන්, යක්ෂයින්, ප්‍රේතයන්, අන්තරාභවිකයන් පිළිබද යථාර්ථවාදීව බුදුදහමට අනුව ගවේෂණය කළ විස්තර කළ කෙනකු මෑත ඉතිහාසයේ නැත. උන්වහන්සේ නිකම්ම නිකම් හොල්මන් අවතාර ගැන කතා කළේ නැත. ලෝ සත්‍යය නොදන්නා, බුදුදහම නොදන්නා ඒහෙත් බෞද්ධයන් යැයි කියා ගන්නා සමහරු මේ කතා ගැන උපහාසයෙන් කතා කරති.
බළන්ගොඩ නාහිමියන් මේවා විස්තර කළේ බුදුදහමේ පදනම වන පටිච්ච සමුප්පාදයට අනුව හේතුව, ඵලය, කර්මය, විපාකය සනාථ වන අයුරිනි. ඒ අනුව පුනර්භවය හා දුක්ඛ, සමුදය සිදුවන ආකාරය පැහැදිලි වන අයුරිනි. බුදු දහමට හානි කරන ආකාරයෙන් අන්‍යාගමික විදේශිය බලවේග ක්‍රියාත්මක වන විට ඒවා මර්දනය කළ හැකි දෙවිවරුන්, මිනිසත් බව ගෙන මෙලොවට ආ හැටිත්, තමන් වහන්සේ ද ඉන් කෙනකු බවත් උන්වහන්සේ ධ්‍යානලාභී පෙර භව දන්නා නුවණින් වදාළහ. අකුසල හේතුවෙන් දුගතිගාමී වූවන් ගැන කතා කරන විට බුදුදහමේ මූලික ටිකවත් නොදන්නා සමහර ඊනියා උගත්තු මේවා සමච්චලයට ලක් කරති. ඒහෙත් ඔවුන්ට විසදාගත නොහැකි බරපතල කරදරයක් ආ විට, ලෙඩක් හැදුණු විට, ගුප්ත විද්‍යාවල පිහිට සොයා යති. බෝ ගස් වටේ දුවති.
![]() |
බළන්ගොඩ නාහිමියෝ 1987 වර්ෂයේ "දේව පූජා" නමින් ලියූ ලිපියක් ඇසුරින් මේ ලිපිය BrainStorm වෙත ලියමි.
"හැම ආගමකම නා නා විධ දේව පූජා දැක්වෙනවා. මේ රටේත් බෞද්ධයන් අතර පවත්නා දේව පූජාවන් ගැන කරණු ටිකක් විස්තර කරන්න අදහස් කරනවා.
සම්මුති දේව, උප්පත්ති දේව, විසුද්ධි දේව යැයි "දේව" නමින් හදුන්වන සත්ත්ව කොට්ඨාස තුනක් ඇතැයි බෞද්ධ පොත්වල දැක්වෙනවා. සම්මුති දේව කියන්නේ රටවල් පාලනය කරන රජවරුන්ට, පාලකයන්ට. උප්පත්ති දේව කියන්නේ චාතුර්මහා රාජිකාදී දෙව් ලෝවල උපන් අයට. විසුද්ධි රාජිකාදී දෙව් ලෝවල උපන් අයට. විසුද්ධි දේව කියන්නේ බුදු, පසේ බුදු, රහතුන් වහන්සේට.
මෙයින් සම්මුති දෙවියන්ට ඒ ඒ රටවල මිනිස්සු රාජ නීතියට අනුව සංග්‍රහ කරනවා.(මේ රාජ්‍ය පාලකයන් අධර්මිෂ්ට වුණොත්, අල්ලස්, දුෂණ, වංචා, අපරධා, පරිසර හානි කළොත් ඒ රටට විපත් ඒළැඹෙන බවත්, ඒ පාලකයන් මරණින් මතු නිරයන්හි ඉපිද අනන්ත කාලයක් අනන්ත දුක් විදින බවත් ධර්මයෙහි සදහන් වෙනවා.) උප්පත්ති දෙවියන් අතරින් ඇතැම් කෙනකුට තමන්ගේ අභිරුචිය පරිදි සමහර කෙනෙක් පුද පූජා පවත්වනවා. සැදැහැවත්තු විසුද්ධි දෙවියන්ට නොයෙක් හැටියෙන් අමිස පූජා ප්‍රතිපත්ති පූජාවලින් පුදනවා.
උප්පත්ති දෙවියන්ට පූජා සත්කාර කිරීම බුද්ධ දේශනාවට අනුකුලද? මේ පිළිබද බෞද්ධ පොතපතෙහි කෙසේ සදහන්ව ඇත්ද යන්න සාකච්ජා කර බලන්න ඔිනෑ.
"දේවානුස්සති භාවනාවේ යෙදුණු මහණ තෙම දෙවියනට ප්‍රිය මනාප වෙනවා. බොහෝ සෙයින් ශ්‍රද්ධාදී ගුණයන්ගෙන් මහත් බවට පැමිණෙනවා. ප්‍රීතිය හා සතුට බහුල කොට ඇතිව වෙසෙනවා. මේ භාවනාවෙන් ලැබෙන උපචාර ධ්‍යානය පාදක කොට ගෙන විපස්සනාව වඩා මාර්ගඵල ලබන්නට සමත් වෙනවා. ඒහෙම නූනොත් මරණින් මතු සුගතියෙහි උපදිනවා" කියා විසුද්ධි මාර්ගයේ දේවනානුස්සති නිද්දේසයේ දැක්වෙනවා.
පස් පවෙහි සදහන් වැරදිවලින් මිදුණු ක්‍රිස්තු හා ඉස්ලාම් ආදී අන්‍යාගමිකයන් වුවත් තමන් අදහන දෙවියන් කෙරෙහි ගැඹුරු භක්ති භාවනා ප්‍රත්පත්තියේ යෙදුණොත් දන්දීම්, අකුසල් නොකිරීම් හේතු කොටගෙන සුගතිවල උපදින්න පුළුවන්.
දේවනානුස්සතියේ දේවතා යනු චාතුර්මහාරාජික, තාවතිංස, යාම, තුසිත, නිම්මානරති, පරනිම්මිත වසවත්ති යන දේව ලෝක සයටත් රූපාචාර බ්‍රහ්ම ලෝකවලටත් අයත් මාර්ගඵලලාභී දෙවියන්.
මේ දෙවිවරු යම් බදු ශ්‍රද්ධා, ශීලාදී ගුණ ධනවලින් පොහොසත් වූ බැවින් ඒ දෙව් ලෝකවල උපදිනවා. මා තුළත් ඒ ශ්‍රද්ධ ශීලාදි ගුණ ධන ඇතැයි ඒ දේවිවරු ශාක්ෂි ස්ථානයේ තබා තමුන් තුළ පිහිටි ශ්‍රද්ධා, ශීල ගුණ යළි යළිත් නිතර නිතර සිහි කරන්න ඔනෑ. ඒ තුලම සතිය(සිහිය) පිහිටුවන්න ඔනැ. ඒකයි දේවනානුස්සති භාවනාව, ආර්ය මාර්ග වශයෙන් ලැබු ශ්‍රද්ධා ශීලාදි ගුණ ඇත්තන් ආර්ය ශ්‍රවක දෙවියන් සාක්ෂි වශයෙන් තබාගෙන සමාධිය වඩන හැටි විසුද්ධි මාර්ගයේ සදහන් වෙනවා.
මේ වැන ආර්ය ශ්‍රවක දෙවියන් සාක්ෂි ස්ථානයේ තබා පොහොය දිනවල රක්නා පෙහෙවස් සීලය "දේවතුපෝසථ" නමින් හදුන්වනාවා. මේ කරණා අනුවත් පෘථග්ජන පුද්ගලයින් ඒ ඒ දිව්‍යලෝකවල ඉන්නා ආර්ය භාවයට පත් දෙවියන්ට ගරු බුහුමුන් කිරීම මහත් ඵලදායී පින්කමක්.
ඇත අතීතයේ පටන් ලංකාවේ පවත්වාගෙන ඒන දේව පූජා ගැනත් විමසා බලන්න ඔනැ. සමන් දෙවියෝ සෝවාන් වූ කෙනකු බව බෞද්ධයන්ගේ පිළිගැනීම. ඒ නිසා ඒ දෙවිතුමාට ගරුබුහුමන් දැක්විම පරලොවට ද සෙත සලසන පින්කමක්. බොහෝ දෙන විශ්වාස කරන පරිදි ඒ දෙවියන්ට බාරභාරවීමෙන් මෙලොව දියුණුවටද අනුග්‍රහයත්, ආශිර්වාදයත්, ආරක්ෂාවත් ලැබෙයි නම් ඒයින් වැඩක්ම විනා අවැඩක් වෙන්නේ නැ.
දෙවියන්ට බාරහාර වෙනවා යනු පඩුරක් ගැට ගසා දෙවියන් ගෙට ගෙනැත් දෙන තුරු බලා සිටිම නෙවෙයි. ඒ දෙවියන් දේවත්වයට පත්විමට හේතු වු දාන ශීලාදී ගුණධර්මවල යෙදෙමින් මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා ධර්මතා වඩමින් සමාවදීම් ඉවසිම් සහිතව තරහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යාවලින් මීදී සිටින බවට දෙවියන් ඉදිරියේ පොරොන්දු වි අධිෂ්ඨාන කිරීම. ඒ ප්‍රතිපත්තිමය පූජාවෙන් හා අමිස පූජාවෙන් දෙවියන් පිදිම. ඒහෙම කරන අයට මෙලොවත් පරලොවත් වරදින්නේ නැත.
බෞද්ධයෝ විෂ්ණු නමින් දෙවි කෙනකුට ගරු බුහුමන් දක්වනවා. බෞද්ධ සාහිත්‍යයට අනුව විෂ්ණු නමින් දැක්වෙන් බෞද්ධෝපාසක දේවපුත්ත සංයුත්තයේ දෙවැනි වග්ගයේ බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයේ ඒක්තරා රාත්‍රියක් විෂ්ණු නම් දෙවි පුතෙක් පැමිණ වැද කතාබස් කළ බවට පුවතක් සදහන් වෙනවා."
නමෝ බුද්ධාය...!!!