සිහින හඹා යන්නකු නොවූ ඔහු ජීවිතයේ සාර්ථකත්වය හිමිකර ගත්තේ ජීවිතය හා ගැටෙමින් ඊට මුහුණ දෙමිනි. සිහින දකින්නකු නොවූවද සුවහසක් ජීවිතවල සිහින පාට කරන්නට ඔහු වාසනාවන්ත වූයේ ප්‍රකට ව්‍යවසායකයකු ලෙස සුවිශේෂී සලකුණු තබමිනි. මෙවර ‘කැදැල්ලේ කතාවේ’ කථානායකයා දිලිත් ජයවීර ය. මේ ඉඩහසර ඔහුගේ දිවි සැරියේ සොඳුරු මතක සැමරුම් වෙනුවෙනි.
“ලෝකයා විවිධාකාරයෙන් ඔබ හඳුන්වනවා? ඔබට හැඟෙන ලෙස ඔබ කෙබඳු අයෙක්ද?” මගේ පළමු පැනයට ඔහු මුව පුරා සැහැල්ලුවෙන් සිනාසුණේය. ප්‍රධාන පෙළේ ප්‍රකට සන්නාම නාම හිමි ව්‍යාපාර හතළිස් ගණනක හිමිකාරිත්වය දරන, වගකීම් බහුල අයකුට එතරම් සරලව සිනාසීමට හැකිවීම ම අරුමයකි.
“කෙටියෙන්ම කියනවා නම් මම අටලෝ දහමෙන් නොසැලෙන සරල ශ්‍රී ලාංකිකයෙක්. හැම මොහොතකම සරලව සතුටින් ජීවත් වෙන කෙනෙක්. මට අවශ්‍ය සමාජයට යම් කිසි ආදර්ශයක් දෙන්න පුළුවන් චරිතයක් වෙන්නයි. මගේ ආදර්ශය සතුට සහ සරල බවයි. එය හරිම සරලයි. ඒ සතුටට, සැහැල්ලුවට හේතුව මම බුදු දහමේ එන අටලෝ දහම අවබෝධ කරගෙන ජීවත් වීමයි. සිංහල බෞද්ධ සභ්‍යත්වයෙන් පොහොසත් රටක ජීවත් වන අපි කවුරුත් අටලෝ දහම අවබෝධ කරගෙන ජීවත් වනවා නම් ජීවිතේට අනවශ්‍ය ආතතියක් ඇතිවෙන්නෙ නැහැ. ව්‍යාපාරවල නැඟීම් වගේම වැටීම්වලදීත් අටලෝ දහමෙන් නොසැලෙන 'තාදි' ගුණයෙන් යුතුව සිටිය හැකි නම් ජීවිතය ඉතා පහසුයි.''
ඒ ඔහුගේ ජීවිතයේ තේමා පාඨයයි. සරසවි සිසුවකු ලෙස සිටියදී මිතුරු මිතුරියන් කිහිපදෙනකු සමඟ එක්ව ඔහු ආරම්භ කළ ට්‍රයඩ් ඇඩ්වර්ටයිසින් සමාගම දේශීය වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රෙය් මුහුණුවර වෙනස් කළ ආයතනයකි. LMD සඟරාව 2011 වසරේදී දිලිත් ජයවීර ‘වසරේ ව්‍යාපාරික පුද්ගලයන්’ දස දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කළේය. 2020 දී නැවත ඔවුහු එම වසර තුළ මෙරට වඩාත්ම ගෞරවාදරයට ලක්වූ ව්‍යාපාරික ප්‍රමුඛයන් විසිපස් දෙනාගේ ලැයිස්තුවටද දිලිත් ජයවීර ඇතුළත් කළහ. මෙරට පැරණිතම වෙළෙඳ ආයතනයක් වන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මෙරට විශාලතම මාධ්‍ය ජාලයක් වන දෙරණ මාධ්‍ය ජාලයේ සභාපතිවරයාද වේ.
" ව්‍යවසායකත්වය මට උපතින්ම ලැබුණු දෙයක් කියල මම හිතනවා. මේ ගමන තුළ අභියෝග, බාධක කියන දේවල් හමු නොවුණා නෙවෙයි. නමුත් අටලෝ දහම තුළ මම ඒ කිසිවක් අභියෝග ලෙස සැලකුවේ නැහැ. හැම වෙලාවෙම මම අභියෝගයක් ලෙස සැලකුවේ මාවමයි. ඒ නිසාම මේ ගමන මට ඉතා පහසු වුණා."
ඒ ගමන පහසු කළ මූලික සාධක අතර මවුපියන්ගෙන් ලද ආභාසයත් අඟුළුගහ කන්ථාරාම විහාරස්ථානයේ සුචරිතෝදය දහම් පාසලින් ලැබුණු ආධ්‍යාත්මික පෝෂණයත් දිලිත් ජයවීර සිහිකරන්නේ ගෞරවයෙනි. හපනුන් රැසක් බිහි කළ දකුණු ලක ගාල්ලේ අඟුළුගහ නම් සුන්දර කුඩා ගම්මානයේ උපත ලැබූ ඔහුට පිරිමි සහෝදරයන් තිදෙනෙකි.
"අඟුළුගහ ලස්සන පුංචි ගමේ ඉඳලා අපි ඉගෙන ගන්න ටවුමේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට ආවා. පාසල් වියේ මුල සිට අවසානය දක්වාම මම දහම් පාසල් අධ්‍යාපනයත් ලැබුවා. ඒ කාලේ නායක ස්වාමින්වහන්සේ ලෙස හිටියේ ඉතාම ආදර්ශවත් හාමුදුරුනමක්. කුඩා වියේ සිටම දහම් සංකල්ප මම ජීවිතයට බද්ධ කරගත්තා. මගේ සමකාලීන මිතුරකු වූ ආනන්ද හිමි දැනට එම විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ ලෙස කටයුතු කරනවා. රජයේ සේවකයන් වූ මගේ මවුපියන් තුළ තිබූ ශික්ෂණය දරුවන් ලෙස නිතරම අපේ ජීවිතවලටත් ආදර්ශයක් වුණා. ඒ කාලේ රජයේ සේවකයෙක් කියන්නේ සමාජයේ ඉතා ගෞරවනීය තත්ත්වයක්. අයියටයි මටයි මල්ලිලා දෙන්නයි අපි හතරදෙනාටම මවුපියෝ එක් එක් ඉලක්ක දී තිබුණා. අයියා වෛද්‍යවරයෙක්, මම නීතිඥයෙක් සහ මල්ලිලා දෙන්නා ඉංජිනේරුවරයෙක් සහ ගණකාධිකාරීවරයෙක් වීමයි මවුපියන්ගෙ කැමැත්ත වුණේ. ව්‍යවසායකයෙක් වීමේ කැමැත්ත යටි හිතේ තියාගෙන මුලින්ම මවුපියන්ගෙ කැමත්ත ඉටු කරන අධිෂ්ඨානය මගෙ හිතේ තිබුණත් මම ඉගෙන ගත්තේ හරිම සැහැල්ලුවෙන්."
උසස්පෙළ විභාගය අවසන් වූ වහාම රක්ෂණ අලෙවි නියෝජිතයකු බවට පත්වූ දිලිත් ජයවීර එයින් ලද සාර්ථකත්වය කෙතරම්ද කිවහොත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ආසන්න වන විට යතුරු පැදියක් පමණක් නොව කොට්ටාව ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගන්නටද සමත් විය. මවුපියන්ගේ නීතීඥ සිහිනය සැබෑ කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වන ඔහු සරසවි සිසුවකු ලෙස අර්ධකාලීන රැකියා කිහිපයකද නිරත විය. කලක් ඔහු තර්ක ශාස්ත්‍රය අමතර පන්ති කළේය. අගනුවර ප්‍රකට ඖෂධ බෙදාහැරීමේ ආයතනයක අලෙවි සහායකයකු ලෙසද කටයුතු කළ අතර එම ක්ෂේත්‍රය පිළිබඳ ඇතිවූ උනන්දුව කෙළවර වන්නේ ඔහු ඒ පිළිබඳ න්‍යායික දැනුමද සපුරා ගැනීමෙන් අනතුරුවය.
"මම හිතන්නේ ඒ තුළින් ව්‍යාපාරික ලෝකයට ප්‍රවිෂ්ට වීමට මට විශාල දොරක් විවෘත වුණා. ඒ කාලේ රටේ තිබුණු තත්ත්වය නිසා එක දිගට කැම්පස් වහලා තිබුණේ. නමුත් ඒ කාලය විවිධ ව්‍යාපාර කරමින්, රැකියාවල නිරත වෙමින් ඵලදායීව ගතකළා. ට්‍රයඩ් ආයතනය පටන් ගත්තේ මම සරසවියේ දෙවැනි වසරේ ඉගෙන ගන්නකොට. කැම්පස් එකේදී ශිෂ්‍ය දේශපාලනයේ නිරත වූ මම වැඩිපුරම කළේ පෝස්ටර් අලවපු එකයි, ලීෆ්ලට් ලියපු එකයි "
" එහෙත් එදා අපි සරසවිය තුළ කළ ශිෂ්‍ය දේශපාලනය තුළ ජාතික දේශපාලනට බලපෑම් කළ හැකි මතවාදී අරගලයක් තිබුණා. නමුත් බොහෝ විට අද ශිෂ්‍ය දේශපාලනය විවිධ න්‍යාය පත්‍ර තුළ සිරවෙලා. ඒ වගේම අද බොහෝ තරුණයන් තුළ තිබෙන්නෙ උපාධිය ගත්තහම ඒ දැනුමම භාවිත කරලා රැකියාවක් කළ යුතුයි කියන වැරදි ආකල්පය. විශ්වවිද්‍යාල තිබෙන්නේ පාසලක වගේ කාලසටහනක් අනුව විෂයයන් ඉගෙන ගැනීමට නෙවෙයි. උපාධියක් තියෙන ගොඩක් අය හිතන්නේ කළමනාකාර තනතුරකින්ම රැකියාව ආරම්භ කළ යුතුයි කියලා. එය නිසරු, නිෂ්ඵල අදහසක්. උපාධියක් තිබෙන කෙනෙකුට එය නැති කෙනෙකුට වඩා හොඳින් ජීවිතේට මුහුණ දෙන්න ශික්ෂණයක් ලැබෙනවා. විශ්වවිද්‍යාල පරිසරය, දේශපාලනය, අභියෝග, පෙම් කතා ආදී සියල්ල ඒ ජීවිතයේ කොටස්. උදාරහණයක් විදිහට මාත් ඇතුළුව බිම් මට්ටමින් ව්‍යාපාර පටන්ගෙන මේ වෙද්දි ඉහළ මට්ටමේ සිටින ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් උපාධිධාරීන්. "
සාර්ථක ව්‍යවසායකයකු වීමට කැමති අයකුට අත්දැකීම් මෙන්ම න්‍යායික දැනුමද වැදගත් බව ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීරගේ විශ්වාසයයි.
‘‘ ව්‍යවසායකයකු වීමේ ආශාව උපතින්ම ලැබිය යුත්තක්. ඒ ආශාව වගේම ව්‍යාපාර ලෝකය පිළිබඳ න්‍යායික දැනුමකුත් තිබිය යුතුයි. තියරිය නොදැන පරිසරය අවබෝධ කරගන්න බැහැ වගේම තියරියටම කොටු වුණොත් නිර්මාණශීලීව හිතන්න බැරි වෙනවා. ඒ නිසා තියරිය දැනගෙන තමන්ගේ ක්‍රමයකට නිර්මාණශීලීව කටයුතු කළොත් සාර්ථක වෙන්න පුළුවන් "
තමන්ගේ ක්‍රමයකට නිර්මාණශීලීව ජීවිත රාමුව සකස් කරගත් දිලිත් ජයවීර යෞවනයාගේ ජීවිතයට ප්‍රේමය හමු වන්නේද අහඹු ලෙසටය.
" ඇය නෙළුම්. මුලින්ම මට නෙළුම් හමුණේ කැම්පස් එකට එන්නත් කලින් මගේ යාළුවෙක් සූදානම් කළ විනෝද චාරිකාවකදි. ඉතා ආකර්ෂණීය සුන්දර යුවතියක් වූ ඇය දුටු පමණින්ම පිළිබඳ සිතක් පහළ වුණත් මම ඒ බව කිව්වෙ නැහැ. නැවත අපි කැම්පස් එකේදි හමුවුණා. ඒ දවස්වල හමුවුණාට, කතාබහ කළාට යාළුකමින් එහාට ගිය ප්‍රේම කතාවක් තිබුණේ නැහැ."
ඔහු ඒ මතක මැදුරේ දොරටු විවර කරන්නේ නිසංසලේය. එහෙත් එකල සරසවියේ ශිෂ්‍ය දේශපාලනය තුළ කැපී පෙනෙන චරිතයක් වූ දිලිත් ජයවීර ට නිසංසලේ ප්‍රේමය විඳින්නට ඉඩක් නොතිබුණා සේය.
" ඒ කාලේ කැම්පස් එකේ කතාවක් තිබුණා ප්‍රේම කරන්න ගිහින් ඇනගන්නවා කියලා. මම ඒ වෙද්දි දේශපාලනික වශයෙන් කැම්පස් එකේ තරමක චරිතයක් වෙලා හිටපු හින්දා එහෙම ඇනගැනීමකට හිතේ පොඩි බයක් තිබුණා. බැරිවෙලාවත් ඇය මගේ යෝජනාවට අකමැති වුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා ප්‍රේම කරන්න ගිහින් මගෙ ප්‍රතිරූපෙට හානි කරගන්න කැමති වුණේ නැහැ. ඒ වගේම ඒ කාලේ මම හරිම කාර්යබහුල චරිතයක්. ශිෂ්‍ය දේශපාලන කටයුතු වගේම මිනිස්සුන්ට උදවු කිරීමත් බොහොම කැමැත්තෙන් කළේ.
කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු දෙකකට විතර පසුව මට ආයෙමත් ඇය හමුවුණේ මුලින්ම අපි දෙන්නා හමුවූ විනෝද චාරිකාව සංවිධානය කළ මිතුරාගේ පියාගේ අවමඟුලේදි. ඒක හරි අහඹු සිදුවීමක්. ආගිය විස්තර කතාකළාට පස්සේ මට හිතුණා තවත් ප්‍රමාද වෙන්න හොඳ නෑ කියලා. එදා රෑම මම නෙළුම්ට ආදරේ ප්‍රකාශ කළා. පහුවදා උදේ වෙද්දි අපි ප්‍රේම කතාව පටන් ගත්තා. "
ඔහු කියන්නේ සොම්නසිනි. එදා එලෙස ඇරඹි පෙම් කතාව තවත් අරුත් ගැන්වෙන්නේ ඇය ඔහුගේ ජීවන සහකාරිය බවට පත්වීමෙනි.
" අපි විවාහ වෙද්දි මට තිබුණේ එක ව්‍යාපාරයක් විතරයි. ව්‍යාපාර හතළිස් ගාණක් ගොඩනඟන්න, ඒවායේ වැඩ කරන්න මට හැකිවීම තුළම නෙළුම්ගේ ආදරය, සහයෝගය සහ විශ්වාසය කැපී පෙනෙනවා. ඇය ව්‍යාපාර කටයුතු සඳහා මැදිහත් වන්නේ නැහැ. නිවසේ රැඳුණත් ඇය සමාජය ගැන පුළුල් අවබෝධයක් සහිත වීම මගේ කටයුතුවලට විශාල පහසුවක්. මම ඇයගේ කැමතිම ගතිගුණ ඇය ඉතා සරල, තෘප්තිමත් ගැහැනියක් වීමයි. අදටත් අපි හොඳම යාළුවෝ. අපි දෙන්නගේ ගතිගුණ සිතිවිලිවල සමාන බවක් තිබීමත් මේ ගමනට පහසුවක්. ඒ නිසාම මගේ සාර්ථකත්වයේ සෙවණැල්ල ඇය කිව්වොත් නිවැරදියි"
ඒ බැඳීම තුළින් ජීවිතයට ලැබෙන සැනසීමට ඔහු බිරියට කෘතඥ වූයේ එලෙසිනි. සතුටින්, සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන මේ ප්‍රකට ව්‍යවසායකයා හතළිස් ගණනක් වන සිය ව්‍යපාර සමූහයේ සේවය කරන හය දහසකට අධික මානව සම්පත ගැන කතා කරන්නේද නිහතමානී ආඩම්බරයකිනි.
" මගේ සාර්ථකත්වයේ ගෞරවය ඔවුන් සියලු දෙනාටම අයිතියි. එවැනි විශාල පිරිසකට ජීවිතයට ශක්තියක් වීමට හැකිවීම විශාල ආත්ම තෘප්තියක්. තවත් කෙනෙක් සතුටින් තියන්න විශාල දේවල් කරන්න අවශ්‍ය නැහැ. මේ ගතවෙන මොහොත නැවත කවදාවත් එළැඹෙන්නෙ නැහැ.
ඒ නිසා ඒ මොහොත හැකි තරම් සතුටින් ඵලදායීව ගතකළ යුතුයි. මට තියෙන එකම ආතතිය මිනිස්සු එය තේරුම් නොගෙන කටයුතු කිරීමයි."
වත්මන් සමාජය තුළ බොහෝ දෙනකු කල්ගෙවන්නේ ආතතියෙනි. ඔහු වැනි වගකීම් බහුල ව්‍යවසායකයකු ඊට මුහුණ දෙන්නේ කෙසේද? මගේ පැනයට ඔහුගේ මුවඟ ඇඳුණේ සැහැල්ලු සිනහවකි.
" මම මිනිසුන්ගේ මිනිසෙක්. ආතතිය නැතිකරගන්න හුදෙකලාව ඉන්න, සතුන් බලන්න කැලෑවලට යන්න මම කැමති නැහැ. ආතතියෙන් නිදහස් වෙන්න කලින් හිතන්න ඕන ඇයි අපි ආතතියට පත්වෙන්නෙ කියලා. තමන් වටා ඉන්න මිනිස්සු සතුටින් ඉන්නවා නම් තමන්ටත් සතුටින් ඉන්න පුළුවන්. මේක හැම සමාජ සම්බන්ධයකටම අදාළයි. අවාසනාවකට ගොඩක් අය තමන් ළඟම ඉන්න මිනිස්සු අසතුටින් තියලා සතුට හොයන්න දිග නිවාඩුවක් අරගෙන ඈත කැලෑවකට යනවා. මම විශ්‍රාම යන්න, නිවාඩු ගන්න කැමැති නැහැ. මගෙ සතුට තියෙන්නෙ වැඩ කරමින් සතුටින් ජීවත් වීම තුළයි. මම සතුටු වෙන්නෙ පවුලෙ අය එක්ක, මිතුරන් එක්ක ඇවිදින්න යාමෙන්, එහෙමත් නැත්තම් මගේම තැනක ඔවුන් එක්ක විනෝද වීමෙන්. මට අවශ්‍ය හැම මොහොතකම මිනිස්සු අතර සතුටින් ඉන්නයි. සමහරු දන්නේ නැහැ ඇයි තමන් ධනවත් විය යුත්තේ කියලා. රැස් කරන දේවල් පාවිච්චි නොකර ආතතියෙන් ඉඳලා අඩු වයසෙන් මිය යනවාට වඩා තමන් උපයා ගත් දෙයින් සෑහීමකට පත්වෙලා සතුටින් ජීවිතය ගතකිරීමයි වැදගත්. සිංහල, බෞද්ධ සභ්‍යත්වයෙන් පොහොසත් රටක ජීවත් වෙන අප ඒ සත්‍යය වටහාගත යුතුයි."
දේශපාලනය පිළිබඳ ඔහුගේ නැඹුරුව ගැනද නොවිමසුවහොත් එය මේ කතාවට අඩුපාඩුවකි.
" මිනිසුන්ට නිර්දේශපාලනිකව ජීවත් වෙන්න බැහැ. තමන් කැමති කිසියම් දේශපාලන දර්ශනයක් වෙනුවෙන් කුඩා හෝ කැපකිරීමක් කරන්න හැම කෙනෙකුටම සිදුවෙනවා. ඒ නිසා ඒ ප්‍රමාණයට මමත් දේශපාලනිකයි."
සතුටින් ජීවිතය විඳින ඔහුට තවත් සැබෑ කරගත යුතු සිහින තිබෙනවාද? ඔහු ඊට පිළිතුරු දුන්නේ බොහෝ සැහැල්ලුවෙනි.
“මෙය සිහින පසුපස ආව ගමනක් නොවෙයි. සිහින හරි වෙහෙසකාරියි. සිහින නොදැක තමන්ගෙ දහදිය මහන්සියෙන් වැඩ කළාම දියුණුව කරා ළඟාවෙනවා වගේම තමා ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මට මම ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා. මම කැමති හැම මිනිසකුටම සතුටේ අගය වැටහෙන රටක් දකින්නයි"
සුරේකා නිල්මිණි ඉලංගකෝන්
සිළුමිණ
20/03/2021